ලන්ඩන් නුවර කලබල පැතිරෙයි

ලන්ඩනයේ සවුත්පෝට් ප්‍රදේශයේ නර්තන ඇකඩමියකදී පසුගියදා සිදුවූ පිහි ඇනුම්වලින් දැරියන් තිදෙනකු මිය යෑම මුල් කරමින් ප්‍රදේශ රැසක ජනතාව ප්‍රකෝපකාරීව හැසිරෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසින් සංවිධාන කරනු ලැබූ බව කියන මේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ලිවර්පූල්, බ්‍රිස්ටල්, මැන්චෙස්ටර්, බ්ලැක්පූල් සහ බෙල්ෆාස්ට් වැනි ප්‍රදේශ රැසක කෝලාහල පැතිරී ගොස් ඇතැයිද, සාප්පු මංකොල්ලකෑම් වැනි සිදුවීම් ද වාර්තා වී ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එම විරෝධතාකරුවන් කඩසාප්පු හා මෝටර් රථ ගිනි තබමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරීමත් සමඟ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් කැඳවීමට ද සිදුවී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.