ක්ලබ් වසන්ත සහ දෙදෙනකු ඝාතනය: සැකකාර 10 දෙනා යළි රිමාන්ඩ්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයකදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 10 දෙනා අගෝස්තු මස 20දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබන්ඩාර මහත්මිය ඊයේ (05) දින නියෝග කළාය.

ඉකුත් නඩු දිනයේදී අධිකරණය මඟින් දැනුම්දුන් පරිදි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් අධිකරණයේ පෙනී සිටි අතර මෙතෙක් විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ අනාවරණය කරන ලදී.

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය පිළිබඳ සාක්ෂි සටහන් කිරීම එදිනට නියමිතව තිබුණු අතර සැකකරුවන් අතරින් නව වන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලදී.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිය නුවන් ජයවර්ධන මහතා බන්ධනාගාරගතව සිටින සැකකරුවන් අතුරින් සැකකරුවන් කිහිප දෙනෙකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බැවින් එම සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

එහිදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තුවාල ලබා සිටින මැණික් විජේවර්ධන යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි මහතා එයට විරෝධය පළ කරමින් විමර්ශන කටයුතු තවමත් අවසන් නොවන බවත් මෙම සැකකරුවන් දම්වැලක පුරුක් ආකාරයට එකකට එකක් මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බැවින් එම ඉල්ලීමට විරෝධය පළ කරන ලදි.

ඒ අනුව මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

මෙහිදී ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන්කරගෙන ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය අධිකරණය හමු වේ අනාවරණය කරන ලදී. අදාළ ඝාතනය සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලට ලැබීම සම්බන්ධව එම මාධ්‍ය ආයතනවලින් ප්‍රකාශ සටහන් කර ගත්තේ ද යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසීමක් කළාය.

එහිදී පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදුණු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ඒ පිළිබඳව කරුණු සටහන් කරගත් බවයි.

අදාළ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් ප්‍රකාශයක් සටහන්කරගන්නා ලෙසත් මෙම නීති කෘත්‍ය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිතව දන්වන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙහිදී විමර්ශන කටයුතු සිදු කරනු ලබන නිලධාරීන් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල කිහිපයක් පිළිබඳව අධිකරණය වෙත කරුණු දක්වන ලද අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කර ඇති බවත් අධිකරණය හමුවේ පැවසීය.

මෙම සිද්ධියේ විමර්ශන කටයුතු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසද අධිකරණය පොලිසියට නියෝග කළාය.

ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයා බව කියනු ලැබූ සන්තුස් පෙරේරා සහ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඥාති සහෝදරියකු බව කියන පී.ඒ. චන්දමා යන අය ද අධිකරණය හමුවේ පෙනී සිටින ලද අතර මරණ පරීක්ෂණ සම්බන්ධ සාක්ෂි විමසීමේ කටයුතු ලබන 20 දින සිදු කිරීමට නියමිත වේ.

මෙම සිද්ධියේ දැනට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකාර ටැටූ ආයතනයේ හිමිකාර වන දුලාන් සංජුල නමැත්තා මේ වනවිට මහර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බැවින් එම සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරුකරන ලෙස විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන කළ ඉල්ලීමට අනුව එම සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරුකර යවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් පොලිසිය සහ ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැණික් විජේවර්ධන යන අය වෙනුවෙන් නීතිඥ කමල් ප්‍රසන්න පද්මසිරි පෙනී සිටින ලදී.