ඉරාන නියෝජිතයොත් කුලියට අරන් බ්‍රිතාන්‍යයේ දි ටෙලිග්‍රාෆ් හෙළිදරව් කරයි

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මායිල් හනියා ඝාතනය කිරීමට ඉරානයේ ටෙහෙරාන් නුවර ඔහු රැඳී සිටි ගොඩනැඟිල්ලේ කාමර තුනක බෝම්බ අටවා ඇත්තේ මාස දෙකකට පෙර බවත්, එය විදෙස් රටක සිට දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරීමට තරම් අති නවීන තාක්ෂණයෙන් යුතු බෝම්බ තුනක් බවත් බ්‍රිතාන්‍යයේ ‘දි ටෙලිග්‍රාෆ්’ පුවත් සේවය වාර්තා කර ඇත. ඊශ්‍රායලයේ බුද්ධි සේවය වන මොසාඩ් සංවිධානය ඉරාන ආරක්ෂක නියෝජිතයන් කිහිපදෙනකු කුලියට ගෙන එම බෝම්බ සවි කර ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

හමාස් සංවිධානයේ නායකයා ඝාතනය කිරීමට මීට පෙර සැලසුම් කර ඇත්තේ පසුගිය මැයි මාසයේදී ඔහු ඉරානයේ හිටපු ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ අවමංගල උත්සවයට සහභාගි වීමට ටෙහෙරාන් නුවරට පැමිණි මොහොතේදී බවත් ‘දි ටෙලිග්‍රාෆ්’ පුවත් සේවය ප්‍රකාශ කර තිබේ. එහෙත් එම අවමංගල උත්සවයට අතිවිශාල ජනතාවක් සහභාගි වීම සහ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබීම හේතුවෙන් එම උත්සාහය අසාර්ථක වී ඇතැයිද වාර්තා වේ. අනතුරුව හමාස් නායකයා මෙවර නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට සහභාගි වීමේදී එරට විප්ලවීය හමුදාවේ හිටපු නිලධාරීන්ගේ ගොඩනැඟිල්ලේ ඔහු නවාතැන් ගනු ඇතැයි අනුමාන කළ කාමර තුනක බෝම්බ සවි කිරීමේ සැලසුම ඉරාන ආරක්ෂක නියෝජිතයන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කර ඇත්තේ ඉන් පසුව බවත් වාර්තා වේ.