ආරාම ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නකින් මෙහෙණින්වහන්සේ නමක් මියගිහින්

රස්නායකපුර අඹගම්මන ප්‍රදේශයේ ආරාම ගොඩනැඟිල්ලක ඊයේ (05) අලුයම ඇතිවූ ගින්නකින් එහි වැඩසිටි මෙහෙණින් වහන්සේ නමක් මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගියේ එම ආරාමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ ලෙස කටයුතු කළ මිරිහෙලියේ සුපේක්ෂලා නමැති වයස අවුරුදු 70ක මෙහෙණියකි.

මෙම ආරාමයේ මියගිය මෙහෙණියට අමතරව තවත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වැඩසිටින නමුත් එම මෙහෙණිය දින දෙකකට පෙර යම්කිසි කටයුත්තක් වෙනුවෙන් වෙනත් පළාතකට ගොස් ඇත.

දායක පිරිස් පවසා සිටින්නේ ඊයේ අලුයම 1.00ට පමණ ගින්න ඇතිවී තිබූ බවයි. එහිදී පිරිසක් එක්ව ගින්න පාලනය කළත් මෙහෙණින් වහන්සේ ගින්නට හසුව මියගොස් ඇතැයි ද ඔවුහු පැවසූහ. ගින්නෙන් මෙහෙණිය වැඩසිටි ආවාස ගෙයටද දැඩි හානි සිදුව ඇත.

රස්නායකපුර පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.