ලක්ෂ 32 ක නීති විරෝධී දුම්වැටි සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

රුපියල් තිස් දෙලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , ඒවා රැගෙන ආ  පුද්ගලයා  ද සමඟින් අද (05)  උදෑසන අත් අඩංගුවට ගැනීමට  කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමත් වී  ගෙන තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  වාරියපොළ , කටුපොත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොහු අද උදෑසන 09.25 ට අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමා කර , ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ඇති වු සැකය මත , ඔහු නවතා සිදු කළ විමර්ශන වලදී මෙම විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 21,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 108 , සිය ගමන් මලු තුළ සගවා ගෙන සිටියදී , සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

ඔහු නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ආනයනය කිරීම , ජාවාරම් කිරීම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ , ඔහු විසින් රැගෙන ආ දුම්වැටි තොගයත් සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .