ග්‍රාම නිල­ධා­රීන් වර්ජ­න­ය­කට යොමු­කර ඡන්ද කල් දාන්න ආණ්ඩුව හදන බවට සජිත්ගේ කතාව ප්‍රති­ක්ෂේප කර­නවා – ශ්‍රී ලංකා රාජ්‍ය නිල­ධාරී වෘත්තීය සමිති සම්මේ­ල­නය

වෘත්තීය ඉල්ලීම් ලබා නොදීම තුළ ග්‍රාම නිල­ධා­රීන් මැති­ව­රණ රාජ­කාරී වර්ජ­න­ය­කට යොමු­කර වර්ත­මාන ආණ්ඩුව ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­රණ නොප­වත්වා සිටී­මට එය හේතු­වක් කර ගත හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා කළ ප්‍රකා­ශය ප්‍රති­ක්ෂේප කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිල­ධාරී වෘත්තීය සමිති සම්මේ­ල­නය පව­සයි.

ශ්‍රී ලංකා රාජ්‍ය වෘත්තිය සමිති සම්මේ­ල­නයේ සභා­පති සුමිත් කොඩි­කාර මහතා මේ සම්බ­න්ධ­යෙන් නිකුත් කළ මාධ්‍ය නිවේ­ද­න­යක මෙසේ ද සඳ­හන් වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පසු­ගිය 01 වැනිදා ග්‍රාම නිල­ධාරී වෘත්තීය සංගම් නියෝ­ජි­ත­යින් සමඟ පැවැත්වූ බව කියන සාක­ච්ඡා­ව­කදී කර ඇති මෙම ප්‍රකා­ශය පිළි­බ­ඳව ශ්‍රී ලංකා රාජ්‍ය නිල­ධාරී වෘත්තීය සමිති සම්මේ­ල­නය අව­ධා­නය යොමු කරන ලදි. මේ වන­විට 2024 නව ජන්ද හිමි නාම­ලේ­ඛ­නය සකස් කර එහි මූලික කට­යුතු ග්‍රාම නිල­ධා­රීන් ඉතා සාර්ථ­කව ඉටු කිරීම තුළ මැති­ව­රණ කොමි­සම එය අනු­මත කර ඇත.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා එම ලේඛ­නය යොදා ගැනී­මට ද තීර­ණය කර තිබේ. එමෙන්ම මැති­ව­රණ කොමි­සමේ උප­දෙස් සහ මෙහෙ­ය­වීම මත මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා යොදා ගැනී­මට නිය­මිත ජන්ද මධ්‍ය­ස්ථාන සකස් කර ගැනීම සහ නිශ්චිත කර ගැනීමේ කට­යුතු ද ග්‍රාම නිල­ධා­රීන්ගේ මැදි­හත් වීම මත අව­සන් වෙමින් පවතී. එලෙ­සම 2024 ඡන්ද හිමි නාම­ලේ­ඛ­න­යට ඇතු­ළත් ආබා­ධිත ප්‍රජාව පිළි­බඳ තොර­තුරු ද 2024 පෙබ­ර­වාරි මස 01 දිනෙන් පසු මිය­ගිය ජන්ම හිමි­යන්ගේ තොර­තුරු ද ග්‍රාම නිල­ධා­රීන් සක­ස්කර මැති­ව­රණ කොමි­සම වෙත යොමු කිරි­මට පිය­වර ගෙන තිබේ. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තැපැල් ඡන්ද භාවිත කිරී­මට බලා­පො­රොත්තු වන ජන්ද හිමි­යන්ගේ තොර­තුරු ලබා­දීම උදෙසා 2024 ජන්ද හිමි නාම­ලේ­ඛ­නය ග්‍රාම නිල­ධාරී කාර්යා­ල­වල මේ වන­විට ප්‍රද­ර්ශ­නය කර ඇත.

එබැ­වින් මේ අකා­ර­යට 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වීමේ මූලික රාජ­කාරි කට­යුතු ග්‍රාම නිල­ධා­රීන් විසින් ඉතා­මත් සාර්ථ­කව සිදු කර­මින් සිටින බව පෙන්වා දෙනු කැමැ­ත්තෙමි. එබැ­වින් කුමන හෝ පාර්ශ්ව­ය­කගේ වුව­ම­නා­වන් ඉෂ්ට කර ගැනී­මට ග්‍රාම නිල­ධා­රීන් අත­කො­ලු­වක් බවට පත්ව මෙවර පැවැ­ත්වී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණය කඩා­ක­ප්පල් කිරී­මට අප කට­යුතු නොක­රන බව වග­කී­මෙන් යුතුව ප්‍රකාශ කරමු. එලෙ­සම මේ රටේ ජන­තා­වගේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මූලික අයි­ති­යක් වන ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වීම සඳහා නිය­මිත කාල­සී­මාව තුළ ජනා­ධි­ප­ති­ව­රණ රාජ­කා­රි­ව­ලට අදාළ කිසිදු වෘත්තීය ක්‍රියා­මා­ර්ග­යක් ගැනී­මට ග්‍රාම නිල­ධාරී වෘත්තීය සංගම් කිසි­වක් මේ වන­විට තීන්දු­කර නොමැති බවද අදාළ මාධ්‍ය නිවේ­ද­නයේ සඳ­හන් වෙයි.