අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු බව සඳහන්.

උස්වැටකෙයියාව ප්‍රදේශයේ පුද්ගලයෙකු යුක්තියේ මෙහෙයුමේදී අයිස් මත්ද්‍රව්‍ය විකුණන බවට නම ඇතුළත් වී ඇති බවටත් හා එම ලේඛනයෙන් ඉවත් කර දීමටත්, එම පුද්ගලයාගේ නිවස නිරන්තරයෙන් පොලීසිය පැමිණ පරීක්ෂා නොකර සිටීම සහ ඔහුට මින් ඉදිරියට කරදරයකින් තොරව ජීවත්වීමට ඉඩ සලසාදීම වෙනුවෙන් රුපියල් 150,000ක මුදලක් සැකකරු අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.