ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සටන්කාමීත්වය හේතුවෙන් ඉන්දියාව සමඟ තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු දිවා රාත්‍රි තරගය ලකුණු සමවීමෙන් ජය පරාජයෙන් තොරව නිමා විය.
දෙපිල අතර පිට පිට ලකුණු සමවූ දෙවැනි තරගය මෙය වන අතර, පල්ලෙකැලේ පැවති විස්සයි20 තරගාවලියේ අවසන් තරගයේ ද ලකුණු සම විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඉන්දීය පිලට ද ඕවර 47.5කදී සියල්ලන් දැවී රැස් කර හැකි වූයේ ලකුණු 230ක් පමණි.
ජාත්‍යන්තර එක්දින තරග බිමේ ශ්‍රී ලංකා – ඉන්දියා තරගයක ලකුණු සමවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර 2012 වසරේ පෙබරවාරි 14 වැනිදා ඇඩිලේඩ්හිදී පැවති තරගයේ ලකුණු සමවීමෙන් නිමා වී තිබේ. ජාත්‍යන්තර එක්දින තරග බිමේ ලකුණු සමවීමෙන් නිමාවූ 44 වැනි තරගය සහ ආර්. ප්‍රේමදාස පිටියේ ලකුණු සමවීමෙන් නිමා වූ පළමු තරගය ලෙස මේ තරගය ඉතිහාසයට එක් විය.