ආසියානු රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 11.15ට මීටර් 800 තරගයේ මූලික වටයේ තරගයට පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථයට පිවිසෙයි. මූලික වට 6කින් අට දෙනා බැගින් තරගකාරියන් 48ක් එක්වන අතර, එයින් 24ක් අවසන් පූර්ව වටයට තෝරා ගැනීමට නියමිතය. පළමුව මූලික වටයේ ජයග්රාහිකාවන් තිදෙනා බැගින් 18ක් අවසන් පූර්ව වටයට තෝරා ගන්නා අතර, ඉතිරි 30 දෙනා ‘රිපීචේජ් වටයේ’ යළි තරග කළ යුතු වේ. එයින් හොඳම කාලය වාර්තා කරන ක්රීඩිකාවන් 6කට අවසන් පූර්ව වටයේ දොරටු විවර කිරීම ඔලිම්පික් නව නීතිය වේ.
යුරෝපීය, කෙන්යානු හා ඉතියෝපියානු ඇතුළු ප්‍රබල තරගකාරියන්ට එරෙහිව තරග කිරීමට සුදුසුකම් ලැබූ ආසියාවේ උපන් එකම මලල ක්රීඩිකාව තරුෂි වේ. ආසියාව නියෝජනය කරමින් මුදලට ක්‍රීඩා කරන බහරේනයේ නෙලී ජෙප්කොසගි කෙන්යාවේ උපන් ක්රීඩිකාවක් වන අතර, ක්වේටය නියෝජනය කරමින් පැමිණ සිටින අමාල් අල් රවුමී ද 2022 සිට එරට නියෝජනය කරන වෙනත් රටක ක්රීඩිකාවකි.
මේ තරගයට මිනිත්තු 2කට වඩා අඩුවෙන් කාලයක් වාර්තා කොට ඇති ක්රීඩිකාවන් 35ක් පමණ ලොව විවිධ රටවලින් පැමිණ සිටින හෙයින් වැඩි තරගකාරීත්වයක් පවතී. තරුෂිගේ මෙතෙක් හොඳම දක්ෂතාව මිනිත්තු 2:00.66කි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වංශ කතාවේ මීටර 800 කාන්තා ඉසව්ව එකම ක්රීඩිකාවක් හෝ මිනිත්තු දෙකකට අඩුවෙන් නිම කොට නැත. 1992දී ශ්‍රියානි ධම්මිකා මැණිකේ හා 2020දී නිමාලි ලියනාරච්චි මේ ඉසව්වෙන් ඔලිම්පික් උලෙළ නියෝජනය කළද මූලික වටයෙන් ඉවතට ගියහ.
තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා සමඟ ඊයේ විදුලි ආලෝක ධාරා මැද ඇය පුහුණුවීම් සිදු කළාය. ලොව අංක එකේ ක්රීඩිකාවන් මේ තරගයට ඉදිරිපත් වන බැවින් තරුෂිගෙන් විස්මයජනක ප්රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. එහෙත් 19 හැවිරිදි තරුෂි මේ ඔලිම්පික් උලෙළට පැමිණීම ජාතියකට දැවැන්ත ජයකි.