සීතල යුද සමයෙන් පසු හුවමාරු වූ මිනිස් ජීවිත

සීතල යුද සමයෙන් පසු රුසියාව සහ බටහිර රටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමක් ඊයේ(01) සිදු විය. එහිදී සිරකරුවන් 24 දෙනෙකුට නිදහස හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරය ප්‍රකාශ කළේ, සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර යුරෝපයට සහ එක්සත් ජනපදයට යැවූ බවයි. ඔවුන් අතර වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාකරු ඉවාන් ගර්ෂ්කොවිච් ද වේ.

ඊට ප්‍රතිචාර වශයෙන්, බුද්ධි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් ද ඇතුළුව රුසියානු සිරකරුවන් අට දෙනෙකු එක්සත් ජනපදය, නෝර්වේ, ජර්මනිය, පෝලන්තය සහ ස්ලෝවේනියාව යන රටවල බන්ධනාගාරවලින් නිදහස් කර තිබේ.

සිරකරුවන් දෙදෙනෙකුගේ දරුවන් ද නැවත රුසියාවට යවනු ලැබීය. මෙම සිරකරු හුවමාරුව තුර්කියේ අන්කාරා ගුවන් පථයේදී සිදුව තිබුණි.

සිරකරු හුවමාරුව සැලසුම් කර මාස 18ක් පමණ ගතවී තිබේ. නිදහස ලබා, සිය රට පැමිණි රුසියානුවන් මොස්කව් ගුවන් තොටුපළේදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.