මැදපෙරදිග ගැටුම් වර්ධනය වුණොත් ලාංකිකයන් ගෙන්වන්න සියල්ල සූදානම්

යුධ තත්ත්වයක් හේතුවෙන් මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි කැඳවීමට සිදුවුවහොත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින විදෙස් ප්‍රේෂණ ලැබීම ඇනහිටිනු ඇතිබවත්, එමගින් ස්ථිර ලෙසම ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට යනු ඇතිබව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසූවේ  හමාස් සංවිධනයේ දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හානියා ඉරානයේදී ඝාතනය වීමත් සමග මැදපෙරදිග කළාපයේ උද්ගතව ඇති යුධ උණුසුම සහ එම තත්ත්වය නිසා ඊශ්‍රායලය, ලෙබනනය,ජෝර්දානය සහ ඊජිප්තුව ප්‍රමුඛ මැද පෙරදිග කළාපයේ සේවය කරනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මුහුණ දීමට සිදු විය හැකි අවධානම් සහගත තත්ත්වය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමක් අමතමිනි.

මැදපෙරදිග කළාපයේ යුධ උණුසුමක් වර්ධනය වීම ශ්‍රි ලංකාවට කිහිප ආකාරයකින් බලපෑ හැකි මුත්, මෙම අවස්ථාවේ ශ්‍රි ලංකා රජයේ වැඩි අවධානය  යොමුව ඇත්තේ මැද පෙරදිග සේවය කරනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව බවත්, හදිසි අවස්ථාවකදී ඔවුන් මව් බිමට රැගෙන ඒමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඩොලර් මිලියන 5 ක මුදලක් මේවන විටත් රජය වෙන්කර ඇතිබවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මැදපෙරදිග යුද්ධමය තත්ත්වයක් ඇතිවීම නිසා ශ්‍රි ලංකාවට අත්‍යාවශ්‍ය ඉන්ධන සහ ගෑස් ආනයනය අර්බුදයට ලක්විය හැකි බවත්, එමගින් ශ්‍රී ලංකාවට නැවතත් බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත්, මීට පෙර ගල්ෆ් කළාපයෙ  අර්බුද මතුවූ අවස්ථාවල මුහුදු මාර්ග අවහිර වීම නිසා ඉන්ධන ප්‍රවාහනය ඇනහිටි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය . එසේ වුවහොත් විදුලිය නැතිව, ඉන්ධන නැතිව රට නැවත ඇද වැටිය හැකි බවත්, එවැනි තත්ත්වයක් ඇති නොවනු පිනිස අවශ්‍ය සියලු කටයුතු වගකිවයුතු රජයක් ලෙස සම්පාදනය කරමින් සිටිනා බවත් ඔහු සඳහන් කළේය.

ගැටුම් පවතින කළාපයේ  ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සේවයේ යෙදෙනා බවත්, ඊශ්‍රයලයේ පමනක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 12,000 කට වැඩියෙන් සේවය කරනා බවත්, ජෝර්දානයේ 15,000 ක්, ලෙබනනයේ 7500, ක් සහ ඊජිප්තුවේ 500 කට ආසන්න ලාංකිකයන් පිරිසක් සේවය කරනා බවත් අමාඅත්‍යවරයා එහිදී පැවසීය.

මෙම අවස්ථාවේ අවබෝධයෙන් කටයුතු කරනා ලෙසත්, අවධානම් සහගත ලෙස දේශ සිමා තරණය නොකරන ලෙසත් ශ්‍රීලංකික ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා අවශ්‍යතාවයක් මතුවුවහොත් මුහුදෙන් හෝ ගුවනින් ඔවුන් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතිබවද පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා මෙලෙස පැවසීය.  ”මැද පෙරදිග යුධ තාත්ත්වයක් ඇතිවුනහොත් ලංකාවට ඕන කරන තෙල් ,ගෑස් ලබාගැනීමට ක්‍රමයක් නැතිව යනවා. එහෙම උනාම විදුලිය කපන්න වෙයි, තෙල් සහ ගෑස් වලට නැවත පෝළිම් ඇතිවෙයි . මේ වගේ ජාත්‍යන්තර අර්බුදයකදී කටයුතු කළ අයුතු ආකාරය සංකීර්ණයි.

ඒ ගැන අවශ්‍ය කටයුතු සම්පදනය කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේවන විටත් කටයුතු කරලා තියනවා. ඒ අනුව මේ අර්බුදය අධ්‍යනය කරලා ආණ්ඩුවට අවශ්‍ය උපදෙස් දෙන්න විශේෂ කමිටුවක් පත්කරලා තියනවා. ජනාධිපති ජ්‍යේෂ්ට උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම්, මුදල් ලේකම්, ටිරාන් අලස්, අලි සාබ්‍රී, කන්චන විජේසේකර යන ඇමතිවරුන් සහ මමත් ඒ කමිටුවේ ඉන්නවා. ඊයේ මුල්වරට අපි රැස්වෙලා සාකච්චා කළා. මේ කළාපයෙන් තමා තෙල් එන්නේ, ගෑස් එන්නේ, මෙවා බිඳවටුනොත්  අපේ බලශක්ති සැපයුම ආරක්ෂා කරගන්නේ කොහොමද, නැව් සහ ගුවන් මාර්ග අවහිර උනොත් කොහොමද අපේ සැපයුම් පවත්වාහෙන යන්නෙ,  අපේ නිර්යාත වෙළඳපොල කොහොමද රැක ගන්නේ මේ සියල්ල අපි සාකච්චා කරලා අවශ්‍ය විසඳුම් සකස් කරමින් ඉන්නේ”

මැදපෙරදිග ශ්‍රමිකයන් නැවත කැඳවීමට සිදුවුවහොත් එමගින් ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රේශණ සැපයුම නැවත බිඳ වැටිය හැකි බවත්, ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලෙ මීළඟ වාරිකය ලබගැනීම තවත් මාස හතරකින් පමන කල් යන පසුබිමක විදෙස් ප්‍රේෂණ ලැබීම යම් තරමකින් අඩු වුවහොත් එය හිස ඔසවමින් තිබෙනා ආර්ථිකයට දැඩි බලපෑමක් විය හැකිබවත් අමාත්‍යවරයා සඳහන් කළේය .

ඊශ්‍රායලය ,ජෝර්දානය ලෙබන්නය වැනි රටවල් ගැන අපි කථා කළද සෞදි අරාබිය, කුවේටය ඇතුළු රටවල සේවය කරනා ශ්‍රමිකයන්ටද මෙම තාත්ත්වය නිසා රැකියා අහිමිවීමේ අවධානකමක් ඇතිවිය හැකිබවත් අවශ්‍ය විටෙක ඔවුන් නැවත මව් රටට ගෙන ඒමටත්, ඒතෙක් ආරක්ෂා සහිතව නවතැන් සැපයීමටත් රජයෙ අවධානය යොමුව ඇතිබවත් පැවසූ අමාත්‍යවරයා අවශ්‍ය විටෙක ශ්‍රමිකයන් ආපසු කැඳවීමට අරමුදල් පවා මේ වන විට වෙන්කර ඇතිබවත් සඳහන් කළේය.

කොරෝනා සමයේ මව් රටට පැමිණි ශ්‍රමිකයන් මුහුණ දුන් අසතුටුදායක තත්ත්වය ගැන අත්දැකීම් ඇති නිසා. එවැනි දේ නැවත නොවීමටත්, ආපසු පැමිණෙන ශ්‍රමිකයන් විධිමත්ව සමාජ ගත කිරීමටත් රජය සූදනම් බව අමාත්‍ය මනුෂ නානායක්කාර පැවැසීය.