සජිත් ඇප බඳී දැනට මුදල් තැන්පත් කළ ගණන 6ක්

ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජාතික සංවර්ධන පෙරමුණේ පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරණායක මහතා ද ඊයේ (31) ඇප මුදල් තැන්පත් කර ඇත. ඒ අනුව ඊයේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයන් ගණන 6ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇප මුදල් තැන්පත් කර ඇති අතර ජාතික සංවර්ධන පෙරමුණේ පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරණායක මහතා වෙනුවෙන් ආනන්ද එස්. ස්ටීවන් මහතා ඇප මුදල් තැන්පත් කර ඇත.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළමුව ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව ස්වාධීන අපේක්ෂකයන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න, අබිනව නිවහල් පෙරමුණ වෙනුවෙන් ඕෂධ ලක්මාල් අනිල් හේරත්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය සඳහා ඒ.එස්.පී. ලියනගේ යන මහත්වරුන් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයට ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ලබන අගෝස්තු 14 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් තැන්පත් කළ යුතු වන අතර අනෙකුත් අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 75,000ක මුදලක් ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වේ.