වතුකරයේ ජනතාවට සින්නක්කර ඔප්පු වැඩපිළිවෙළ ඉදිරියටම

වතුකරයේ ජනතාව සැබෑ ලෙස සමාජගත කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඔවුන් පදිංචි ස්ථානයේ අයිතිය තවදුරටත් දීමනා පත්‍රයකට සීමා නොවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වන ජනපති වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාවට නැංවෙන බවයි.

වසර 200ක පමණ ඉතිහාසයක් ඇති වතුකරයේ ජනතාව අයිතිය නොමැති ඉඩම් හේතුවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ වතු ජනතාවට නිවාසවල පූර්ණ අයිතිය ලබා දීම පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ වතුකරයේ ජනතාව සඳහා නව ගම්මාන ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා වැවිලි සමාගම් මගින් ඉඩම් වෙන් කරන අතර රාජ්‍ය මැදිහත් වීම යටතේ නිවාස ඉදිකිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එම ගම්මාන සියලු පහසුකම්වලින් සමන්විතව ඉදි කෙරෙන අතර වතු ජනතාව සෑබෑ ලෙස සමාජගත කරවීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ බවයි අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ.