ආර්ථික පංචායුධයක් සහිතව ජනපතිවරණයට එන එකම අපේක්ෂකයා රනිල් – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ආර්ථික පංචායුධයක් සහිතව ජනපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් පොහොට්ටුව නියෝජනය කරන අතිමහත් ඇමතිවරුන් සහ එහි බහුතර මන්ත්‍රී කණ්ඩායම එතුමන්ගේ ජය තහවුරු කරන්නට සහාය දෙන්නේ එනිසා බවත් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෑත කාලයේ සෑම රජයක්ම සල්ලි අච්චු ගැසූ බවත් එහි ප්‍රතිඵලය වූයේ බදු බර ඉතා අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ජීවන වියදම ඉහළ යාම බව ද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

ඒ තත්ත්වය නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නව පනතක් ගෙනැවිත් මෙරටේ සල්ලි අච්චු ගැසීම තහනම් කිරීමට පියවර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පසු හෝමාගම ජනතාව අමතමින් තමන් ජනපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව දැනුම් දීම සඳහා පැවැත්වූ ජනහමුවේදීය.

හෝමාගම සුපිරි වෙළෙඳපොළ භූමියේ පැවැති එම රැස්වීමේදී අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

මෙරටේ බලයේ සිටි ආණ්ඩු හිතු මනාපයට ඕන ඕන විදියට ණය තොග වශයෙන් ගත්තා. ගිනි පොලියට වෙළෙඳපොළට ගිහින් ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරලත් ණය ගත්තා.

තවදුරටත් එහෙම කරන්න බැරි වෙන්න ණය පාලන පනතක් වෙනම සම්මත කර ගත්තා.

ඒවගේම බොරු දේශපාලන පොරොන්දු දීලා අයවැයෙන් මුදල් වෙන් කරන්න බැරි වෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා මූල්‍ය කළමනාකරණ පනතක් ඉදිරිපත් කළා. ඒ අනුව මින් ඉදිරියට අයවැය හදන්න පාර්ලිමේන්තුවේ වෙනම අයවැය කාර්යාලයක් තියෙනවා.

ඒවගේම සමස්ත රටේ මෙතෙක් ආපු ආර්ථික ගමන් මග වෙනස් කරන්න ඉකුත් සතියේ සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් ආර්ථික පරිවර්තන පනතක් සම්මත කරගත්තා.

ඒවගේම රාජ්‍ය අංශයට හෝ දේශපාලකයන්ට හෝ නිලධාරීන්ට හෝ වෙනත් අයට හොරකම් වංචා දූෂණ කරන්න බැරිවෙන දැඩි දූෂණ විරෝධී පනතක් සම්මත කර ගත්තා.

මේ ආර්ථික පංචායුධයත් සහිතව ජනපතිවරණයට එන එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.