‘මදුරෝ දිනුවේ හොර ඡන්දයෙන්’ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වෙනිසියුලාවේ ජනතාව මහ පාරට බසී

වෙනිසියුලාවේ පසුගියදා පැවැති ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව වීදි බැස විරෝධතාවක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ ජයග්‍රහණය අත්කර ගත් බව එරට මැතිවරණ කවුන්සිලය කළ නිවේදනය ප්‍රතික්ෂේප කරමින් ජනතාව ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂ සන්ධානයේ අපේක්ෂක එඩුමන්ඩු ගොන්සාල්ගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරන ලෙසටය. එරට විපක්ෂ සන්ධානය ද සිය අපේක්ෂකයා 73.2% ක ප්‍රතිශතයක් ලැබූ බව කියමින් එම විරෝධතාවට එක් වී සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කරමින් පොලිසිය සහ ආරක්ෂක අංශ විරෝධතාව පාලනය කිරීමට උත්සාහ කළ ද, බොහෝ පොලිස් නිලධාරින් සිය නිල ඇඳුම් ගලවා දමා විරෝධතාකරුවන් සමඟ එක් වූ බව වාර්තා වේ.

මේ අතර මැතිවරණයට විරෝධය පා එරට කරකස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය වට කිරීමට බොහෝ දුරින් කඳුකර පළාත්වලින් ද විශාල ජනතාවක් අගනුවරට එක්රොක් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. නිකොලස් මදුරෝට සහ ඔහුගේ එක්සත් සමාජවාදී පක්ෂයට දැඩි විරෝධයක් පළ කරන එරට ජනතාව ෆැල්කන් ප්‍රාන්තයේ ඉදි කර තිබූ එම පක්ෂයේ සහ වෙනිසියුලාවේ හිටපු නායක හියුගෝ චාවේස්ගේ පිළිරුවක් ද කඩා විනාශ කර ඇතැයි වාර්තා වේ. පෙරේදා වන විට සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 80% ක් ගණනය කිරීමෙන් පසු වෙනිසියුලාවේ මැතිවරණ කවුන්සිලය නිවේදනය කර ඇත්තේ වත්මන් ජනාධිපති නිකොලස් මදුරෝ 51% ක ජන්ද ප්‍රතිශතයක් සහ එඩුමන්ඩු ගොන්සාල් 44% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ බවය. මදුරෝ බලයේ රැඳී සිටින්නේ දැනට වසර 11ක සිටය.