හමාස් නායකයාගේ ඝාතනයත් සමග ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ, ඉරානයේදී ඝාතනයට ලක්වී තිබෙනවා.

ඉරානයේ නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමට ඉස්මයිල් හනියේ ටෙහෙරානයට ගොස් සිටි අවස්ථාවේ ඔහු නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලට ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයෙන් ඔහුගේ ආරක්ෂකයෙකු ද මියගොස් තිබෙනවා.

62 හැවිරිදි වියේ පසුවූ ඉස්මයිල් හනියේ, ගාසා තීරයේ සටන් විරාමයකට එළඹීම ඉලක්ක කරගත් සාකච්ඡාවලදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළ අයෙකු ලෙසයි සැලකෙන්නේ.

ඉරාකය, තුර්කිය, රුසියාව සහ කටාර් ඇතුළු රටවල් කිහිපයක් අදාළ ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ සටන නව මානයකට ගෙන යන අතර ඒ හරහා දැවැන්ත ප්‍රතිවිපාකවලට මුහුණදීමට ඊශ්‍රායලයට සිදුවනු ඇති බවයි.