කියුබාව “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලැයිස්තුවෙන් ඉවත් කරන්න -එක්සත් ජාතීන් අමෙරිකාවෙන් ඉල්ලයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නම් කර ඇති “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලයිස්තුවෙන් කියුබාව ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයින් තිදෙනෙක් අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අමෙරිකාව 2021 වසරේ සිට කියුබාව ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳව බරපතළ ලෙස කනස්සල්ලට පත්ව සිටින බවයි ඔවුන් පෙන්වාදී ඇත්තේ.

වසර 62කට වැඩි කාලයක් කියුබාව වෙත සම්බාධක පැනවීම හේතුවෙන් කියුබාවේ ජාත්‍යන්තර හුදකලාව ගැඹුරු කර ඇති බවද විශේෂඥයෝ ඒකාබද්ධ නිවේදනයෙන් සඳහන් කර ඇති අතර අමෙරිකාවේ මෙම ක්‍රියාව කියුබාවේ ආර්ථික දුෂ්කරතා උග්‍ර කිරීමට මෙන්ම අතිරේක ආර්ථික සහ මූල්‍ය සීමාවන් රාශියක් ගොඩනැංවීමට හේතු වී ඇති බව එහි සඳහන්.

සැලකිය යුතු ආර්ථික අභියෝගවලට මුහුණ දෙන තීරණාත්මක අවස්ථාවක කියුබානු ජනගහණයේ අවශ්‍යතා සපුරාලීමට මෙය බාධාවක් වී ඇති අතර ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටක් ලෙස කියුබාව ඒකපාර්ශ්විකව නම් කිරීම රාජ්‍යයන්හි ස්වෛරී සමානාත්මතාවය, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සහ ආරවුල් සාමකාමීව විසඳීම ඇතුළු ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්මවලට පටහැනි බවයි විශේෂඥයෝ සඳහන් කර ඇත්තේ.