වසරේ පළමු මාස කිහිපයේ වැවිලි බෝග අපනයන ආදායම ඉහළට

මෙම වසරේ පළමු මාස හතර තුළ වැවිලි බෝග අපනයන ආදායම ඩොලර් මිලියන 1118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග 5 අපනයනය මඟින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

2023 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙම වැවිලි බෝගවලින් උපයන ලද අපනයන ආදායම ඩොලර් මිලියන 884.6ක් වන අතර පසුගිය වර්ෂයේ පළමු මාස හතර තුළ අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 234ක ආදායමක් මෙම වර්ෂයේ පළමු මාස හතර තුළ දී ඉපැයීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ වැවිලි අංශයේ ප්‍රගතිය පිළිබඳ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම කරුණු අනාවරණය වී ඇති බව සඳහන්.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී තේ හා පොල් වගාවන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධව ද සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.