පෙම්වතිය බලන්න ගිය තරුණයාට කඩුවෙන් කොටයි

කිළිනොච්චියේ සිට යාපනයේ සිය පෙම්වතිය බැලීමට ගිය තරුණයෙකුව කඩුවකින් කපා ඔහු සතුව තිබූ මුදල් හා ස්වර්ණාභරණද ජංගම දුරකතනය ද ඊයේ  ( 29 )  කොල්ල කා තිබේ.

කිළිනොච්චියේ සිට යාපනයට ගොස් එතැන් සිට මොහු  උරුම්පිරායි ප්‍රදේශය දක්වා ත්‍රී රෝද රථයකින් ගොස් තිබේ.

එසේ යන අතරවාරයේ එම ත්‍රීරෝද රථය තවත් ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මාර්ගය හරස් කොට නතර කිරීමෙන් පසුව මෙම මංකොල්ල කෑම සිදු කොට තිබේ.

කඩුවලින් කැපීම හා පහර දීම නිසා එම තරුණයා සිහිසුන්ව බිම ඇද වැටී ඇති අතර ඔහු විසින් කුලී පදනම මත ලබා ගත් ත්‍රී රෝද රථයද  තමන්ට  සිහිය ලැබී බලන විට අතුරුදහන්ව තිබූ බව ඔහු ප්‍රකාශ කරයි.

ප්‍රදීපන් විනුජන් නැමති 25 හැවිරිදි මෙම තරුණයාට සිහිය ලැබී වට පිට බලන විට ඔහු යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ කාණුවක් අසල සිටින බව ඔහුට තේරුම් ගොස් තිබේ.

වහාම ඔහු වෙනත් ත්‍රී රෝද රථයකින් මනිපායී පොලිසිය වෙත පැමිණ පොලීසියට සිද්ධිය විස්තර කරමින් සිටියදී ඔහු යළිත් සිහිසුන්ව ඇද වැටී තිබේ.

පොලිස් නිලධාරීන් වහාම ඔහුව ගිලන් රථයක ආධාරයෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වන අන්දමට ඔහු සිහිමද ගතියකින් තවමත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මනිපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.