පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසනවා

  • ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට කිසිසේත් සූදානම් නැහැ.
  • මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයයේ කොටසක් – එය උල්ලංඝනය වීමට ඉඩ දිය නොහැකියි.
  • රට තුළ නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහාය දීම සියලු දෙනාගේ පරම යුතුකමයි – ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමින් ජනපති පවසයි.

කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවත් පැවසු ජනාධිපතිවරයා මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවත් පැවසීය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තියට අනුව රට තුළ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට හිමි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පූර්ණ සහාය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකම බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේදී අද (28) පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද අප මෙතන සිටින්නේ විගමන ශ්‍රමිකයන් එවු මුදල්වලින් සහ 2022, 2023 යල කන්නය වගා කළ ගොවින් නිසා බව කිවයුතුයි. ඒ කණ්ඩායම් දෙක නොවන්නට අද අපට රටක් ලෙස මෙතරම් සාර්ථකව ඉදිරියට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අප මේ රට භාර ගනිද්දි රටේ තිබු තත්ත්වය අප සියලු දෙනා දන්නවා. අපි එක් පක්ෂයකට අයත් ආණ්ඩුවක් නොවෙයි. මම ජනාධිපතිවරයා ලෙස සියලුදෙනා එක් කර ගනිමින් අලුත් ආණ්ඩුවක් ගොඩනැඟුවා. ඒ නිසා මෙම ආණ්ඩුව අභියෝග භාර ගැනීමට ශක්තියක් තිබෙන ආණ්ඩුවක්. අපි ලෝකයේ රටවල සහ මූල්‍ය සංවිධානවල සහාය ඇතිව මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම ආරම්භ කළා. එහිදී රටට ඩොලර් ලබා දුන් විගමණික ප්‍රජාව කිසිසේත් අමතක කරන්න බැහැ. ඒ වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත විය යුතුයි.

මේ අයුරින් අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවේ නැතිනම් අද ජනතාවට මෙවන් සහන හිමි වන්නේ නැහැ.

විදේශගතව සිට නැවත මෙරටට පැමිණි ශ්‍රමිකයන්ට රැකියා ආරම්භ කිරීමට සහාය වීමට අපට යුතුකමක් තිබෙනවා. එදා ඔබ සිදු කළ සේවය නිසා තමයි අද රටේ ජනතාවට මෙවන් සහනයක් ලබාදීමට හැකිවී තිබෙන්නේ.

දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම ණය දෙන රටවල් සහ බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම නිසා අපට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට අවස්ථාව ලැබී තිබෙනවා. අප මෙම ගිවිසුම්වලට අත්සන් තැබීමත් සමඟ ජපන් රජයේ සහාය ඇතිව මෙරට ආරම්භ කර අතරමග නැවතුණ සෑම ව්‍යාපෘතියවක්ම නැවත ආරම්භ කරන බව ජපානය ප්‍රකාශ කළා.

ඒ වගේම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය ඇතුළු විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මම ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා සමඟ එකඟ වී තිබෙනවා. ඒ වගේම බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ නිසා දැන් ජපානය සහ ඉන්දියාව සමඟ අප මෙම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වී සිටිනවා.

ඒ වගේම මම චීනයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා තිබෙනවා ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස. මේ සමඟ මෙරට ඉදිරිකිරීම් අංශය විශාල දියුණුවක් ලබනවා.

ඇතැම් අය හිතුවා අපට රටක් ලෙස නැවත හිස එසවීමට නොහැකි වනු ඇතියි කියලා. මැතිවරණයක් තියන්න බැරි වෙයි කියලා. ඒකාධිපතිවාදයට යයි කියලා. දැන් අපි මැතිවරණය පවත්වනවා. තවත් සමහර අය කිව්වා මම මැතිවරණය කල් දාන්න යනවා කියලා. නමුත් මැතිවරණය නියමිත වේලාවට පැවැත්වීම සඳහා මම පළමුවෙන්ම ගොස් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා.

ඇතැම් අය මගෙන් අහනවා මෙම අර්බුදය නිසා මොකක් වෙයිද කියලා. පොලිස්පති පත් කළ ක්‍රමවේදය වැරදියි කියා පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ අභියාචනා නඩුවක් ගොනු කිරීමටයි. සම්ප්‍රදාය අනුව අභියාචනාව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කිව්වා. නමුත් ඒ සමඟම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරනවා කියලා. ඒ ගැන කරුණු තිබුනේ නැහැ. නමුත් එය කියවූ විට තේරුම් යන්නේ පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා, බැලු බැල්මට පෙත්සමක් තිබෙනවා කියලයි. බැලු බැල්මට තිබෙන පෙත්සම පදනම් කර ගනිමින් තමයි පොලිස්පත්වරයා පිළිබඳ තීන්දුව ලබා දී තිබෙන්නේ.

ඉන් පසු දින විපක්ෂනායකවරයා එය පාර්ලිමේන්තුවේදී මතු කළා. එදා කථානායකවරයා සිටියේ නැහැ.

කථානායකවරයා පැමිණි අවස්ථාවේදී අගමැතිතුමා එය ඒ අයුරින් මතු කළා. ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවට අයත් නිසා ව්‍යවස්ථාදායක සභාවේ අභ්‍යන්තර වැඩ කටයුතු පිළිබඳ අධිකරණයට විභාග කළ නොහැකි බවත්, ඒ අනුව මේ පත්වීම නිත්‍යානුකූල බවත් එහිදී කථානායකවරයා තීන්දුවක් ලබා දුන්නා

ශ්‍රෙෂ්ඨාධිකරණය කියනවා මෙම පත්වීම නිත්‍යානුකූල නැහැ තහනම් කරන්න කියලා. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව ප්‍රකාශ කරනවා මෙය නිත්‍යානුකූලයි කියලා. මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් 21 දිනට දින ලබා දී තිබෙනවා. මෙය විශාල අවුලක් බවට පත්විය හැකියි.

ඒ නිසා මම මේ පිළිබඳ අපේ මහානායක ස්වාමින් වහන්සේ සමඟ සාකච්ඡා කළා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළා. තවත් නායකයන් සමඟ සාකච්ඡා කළා. එම සියලුදෙනා කිව්වේ අප මේකට විසඳුමක් සෙවිය යුතුයි කියලා. එසේ නොවන්නට එයින් පීඩාවට පත්වන්නේ ජනතාවයි.

මම මෙම ප්‍රශ්නය දෙස බලන්නේ වෙනත් ආකල්පයකින්. පොලිස්පතිතුමාගේ පත්වීමද, ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම ද මම බලන්නේ නැහැ. මැතිවරණය කියන්නේ මහජන පරමාධිපත්‍යයයේ කොටසක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියේ සඳහන් වෙනවා. එම ජනතා පරමාධිපත්‍ය අප ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තිය අනුව රටේ ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ බලතල මැතිවරණ කොමිසමට ලබා දී තිබෙනවා. රටේ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමේ කාලය ආරම්භ වූයේ ජූලි 17 වනදා සිටයි. මෙම නිදහස් සහ ස්වාධීන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සම්පූර්ණ සහාය ලබාදීම අප සියලු දෙනාගේ පරම යුතුකමයි.

මනුෂ නානායක්කාර මැතිතුමා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසුවා මෙම වේදිකාවේ මගේ ඡායාරූපයක් පළ කරන්න පුළුවන්ද කියලා. එය ඉවත් කරන්න කියලා කිව්වා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. මේව අපි මේ අයුරින් කථා කරන්න ඕන, වාද විවාද කරන්න ඕන. නමුත් අපි මේ අයුරින් කටයුතු කරන විට මැතිවරණ කොමසමෙන් මේ පිළිබඳ විමසීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට ද යුතුකමක් තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වන වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පොලිස් නිලධාරින් ලබාගත හැක්කේ පොලිස්පතිවරයා මාර්ගයෙන් පමණයි. නියෝජ්‍ය පොලිස්පතිගෙන් නොවෙයි. මෙය පොලිස්පතිතුමාගෙන් ඉදිරිපත් විය යුතුයි. පොලිස්පතිවරයෙක් නැත්නම් එම නිලධාරින් ලබා ගන්නේ කොහොමද. අවශ්‍ය පොලිස් නිලධාරින් ප්‍රමාණය මේ සතියේ ඉල්ලන්න ඕන. පසුව ඉල්ලුවොත් එය කරන්න බැරි වෙනවා. එවිට මැතිවරණය පැවැත්වීමට නොහැකි වෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත්.

එබැවින් මැතිවරණ කොමිසමෙන් මෙය විමසීම ශ්‍රෙෂ්ඨාධිකරණයේ පළමු යුතුකම වුණා. පාර්ලිමේන්තුවේත් මූලික යුතුකම වුණේ මැතිවරණ කොමිසමෙන් මෙම කරුණු විමසා තීරණයක් ලබා දීමයි. එය සිදු නොකිරීම නිසා තමයි විශාල ගැටලුවක් මතු වී තිබෙන්නේ. මැතිවරණය කල් දානවට මම කැමති නැහැ. සැප්තැම්බර් 21 වනදා වඩා මැතිවරණය ඉදිරියට ගෙන යාමට මම කිසිසේත් සූදානම් නැහැ. කෙසේ හෝ මෙම මැතිවරණය පැවැත්වීමට මම තීරණය කළා. ඔබ කැමති ඕනෑම අයෙකුට ඡන්දය ලබා දෙන්න. එය ගැටලුවක් නොවෙයි. ඒ අයිතිය ඔබ සතුයි.

දැන් අධිකරණයට යන එක අපි නවත්වමු. දැන් තිබෙන්නේ විසඳුමක් සෙවීමටයි. මෙම බිම් බෝම්බය පිපිරීමට දෙනවද, එය නිශ්ක්‍රීය කරනවද කියන තීරණය අප ගත යතුයි. මෙය පිපිරෙන්න දෙන්න බැහැ. මෙය කොටස් වශයෙන් ගලවා නිශ්ක්‍රීය කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය කියන දෙකම ක්‍රියා කළ යුතුයි. ඒ නිසා කථානායකතුමයි, අගවිනිසුරුතුමයි දෙදෙනාම සාකච්ඡා කර මෙම ප්‍රශ්නය විසඳන ලෙස මම කියනවා.

මම කථානායකවරයාට උදේ කතා කළා. එතුමා කිව්වා මම නීතිපතිතුමාට ලිපියක් යොමු කරලා තිබෙනවා, අගවිනිසුරුතුමා සමඟ කතා කරන්න මම සුදානම් කියලා. මම අගවිනිසුරුතුමාටත් දැනුම් දෙන්නම් මේ පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. අපි මෙම ප්‍රශ්නය මේ සතිය තුළ විසඳාගත යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ රටේ ආරක්ෂාව භාර ජනාධිපතිවරයාටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණය දඩුවම් කළේ රට ආරක්ෂා කළේ නැහැ කියලා. රට ආරක්ෂා කරන්න පොලිසිය අවශ්‍යයි. බුද්ධි අංශය, විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක විය යුතුයි. මේවා නැති වුණොත් මොකක්ද වෙන්නේ.

මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට නව ව්‍යාපාරයක් මේ සතියේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එය ආරම්භ විය යුතුයි. ඒ නිසා කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳා සැප්තැම්බර් 21 දින මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට හැකි අන්දමින් කටයුතු කරන බව මම ප්‍රකාශ කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

අද රට තුළ ආර්ථිකමය වශයෙන් පිබිදීමක් සිදුව තිබෙනවා. රටේ දුෂ්කර කාලසීමාවක මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීම් පිළිබඳව කම්කරු අමාත්‍යවරයාට ස්තුතිවන්ත වෙනවා. සමස්ත පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳගනිමින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අමාත්‍යතුමා විශාල දායකත්වයක් ලබා දුන්නා.

මීට වසර දෙකකට පෙර රටේ පැවැති තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එවැනි මතකයක් තබා ගැනීම අවශ්‍ය නැහැ. මේ රට ගොඩනැගීමේ අභියෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා භාර ගත්තා. අනතුරුව රටේ ආර්ථික ස්ථාවරත්වය හා පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වය ඇති කිරීමට පියවර ගත්තා.

සර්ව ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කිරීමට එතුමාට හැකියාව ලැබුණා. ඒ වගේම එතුමා මේ රට භාර ගන්න විට රටේ ව්‍යාපාර කඩාවැටී තිබුණා. එතුමා ජාත්‍යන්තරය සමඟ කටයුතු කරමින් රටේ ආර්ථිකය ස්ථාවරත්වය ඇති කිරීමට පියවර ගනු ලැබුවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

මෙම වැඩසටහන සමස්ත දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහනක්. නිදහසින් පසුව පළමු වතාවට මීට වසර දෙකකට පෙර රටේ ජනතාව ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ රටේ ජනතාව තෙල්, ගෑස් පෝලිම්වල දුක්වින්දා.

වෛරයෙන් මුසපත් වූ සමාජයක් එදා තිබුණා. ඒ සියලු කරුණු කාරණාවලට හේතුව රටේ ඩොලර් නොතිබීමයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්න යම් ඩොලර් ප්‍රමාණයක් තිබුණත් තෙල් ගෙන්වන්න, ගෑස් ගෙන්වන්න ප්‍රමාණවත් ඩොලර් තිබුණේ නැහැ.වත්මන් ජනාධිපතිතුමා ජාත්‍යන්තරය සමග එකතුවෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත්තා. එනිසා අපි සැමට හුස්ම ගන්න පුළුවන් තත්ත්වයකට අද රට පත්ව තිබෙනවා .

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා,

රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාර ගන්න විට රටේ ඩොලර් තිබුණේ නැහැ. ආයතන නිලධාරීන්ට වැටුප් ගෙවාගන්න බැරි තත්ත්වයක හිටියේ . අපි විදේශ රැකියා බලපත්‍රලාභීන් සමඟ එකතුවෙලා රටට ඩොලර් එවන ලෙසට විදෙස්ගත ශ්‍රමිකයන්ට ආයාචනා කළා.

ඔබේ දරුවන් තමයි අපේ රටට ඩොලර් එවන්න කටයුතු කලේ. මේ ඇගයීම ලබාදෙන්නේ ඒ නිසයි. ඔබේ දරුවන් රටට ආදරේ නිසා අපේ රටට ඩොලර් එව්වා.

අද මේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පවත්වන්නේ ජයගමු ශ්‍රි ලංකා වැඩසටහනේ 24වැනි වැඩසටහනයි. 25 වැනි වැඩසටහන පවත්වන්න තිබුණේ යාපනය දිස්ත්‍රික්කය තුළ. නමුත් මැතිවරණය ප්‍රකාශයට පත්වුණ නිසා එම වැඩසටහන තාවකාලිකව අවලංගු කරන්න සිදුවුණා.

අපි අපේ දරුවන්ව නූතන ලෝකයට ගැලපෙන ලෙස හැඩගැස්විය යුතුයි. ඔවුන්ගේ මනස නූතන ලෝකයට ගැලපෙන ලෙස යොමු කිරීමට සුහුරු පන්ති කාමර වැඩසටහන ආරම්භ කළා.

ඒ වගේම අපි කම්කරු නීතිය වෙනස් කිරීමටද පියවර ගත්තා. විදේශ රැකියා බලපත්‍රධාරීන් සවිබල ගැන්වීම තුළින් අප රටේ තරුණ තරුණියන් විශාල පිරිසකට විදෙස් රැකියා ලබාදීමට හැකියාව ලැබුණා.

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන තුළින් රටේ විශාල ප්‍රතිලාභයක් ලැබුණු බව කිව යුතුයි. අපි smart board ලබාදීමේ වැඩසටහන් ආරම්භ කළේ දේශපාලන අරමුණු වෙනුවෙන් නෙමෙයි. රටේ තරුණ තරුණියන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට ආධාර ලබා දීමේ යෝජනා ක්‍රමයක් අපි ආරම්භ කර තිබෙනවා.

මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අපට විවිධ චෝදනා එල්ල වුණා. නමුත් ජනතාවට කරන සේවය අපි නතර කරන්නේ නැහැ.

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්කුමාර මහතා,

ජයගමු ශ්‍රී ලංකා පළමු වැඩසටහන ආරම්භ කළේ ඓතිහාසික අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. අද මේ කොළඹ දිස්ත්‍රික්කයට සියලුම විදෙස් රැකියා ආයතන , නිලධාරීන් පැමිණ සිටිනවා. අද ඔබ රැකියා හොයාගෙන ආවේ නැහැ. රැකියා ඔබව සොයාගෙන ඇවිත් තිබෙනවා.

එදා රටේ පැවති ආර්ථික අර්බුදයෙන් රට ගොඩනගන්න අපට බලවත් උත්සහයක් ගන්න සිදුවුණා. එදා අපට ඩොලර් මිලියන 20ක් හොයාගන්න බැරි තත්ත්වයක හිටියා.

අද රජයක් ලෙස ඇමරිකානු ඩොලර් ලක්ෂ 12 උපයා ගැනීමට හැකිව තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් ලබාදෙන දායකත්වය අප අගය කරනවා. ඒ නිසා තමයි මේ උපහාරය දෙමාපියන් වශයෙන් ඔබට හිමිවන්නේ.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් නිලධාරීන් ඇතුළු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී. දොළවත්ත, යදාමිනි ගුණවර්ධන, හිටපු අමාත්‍ය රවී කරුණානායක, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, දෙමාපියන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News