විදේශගත ශ්‍රමිකයන් නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙනවා

  • අසීරු යුගයේ රටට විදේශ විනිමය උපයා දෙමින් ලබා දුන් දායකත්වයට ස්තූතියි – “විගමනික හරසර” සමාරම්භක උළෙලට එක් වෙමින් ජනපති පවසයි.

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබා දුන් දායකත්වයට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට එය මහත් ශක්තියත් වූ බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (21) පෙරවරුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වුණු “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

විගමනික ශ්‍රමිකයන් ශ්‍රි ලංකා ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇඟයිම සඳහා දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති “විගමනික හරසර” වැඩසටහන මෙලෙස වයඹ පළාතින් ආරම්භ කෙරුණු අතර කුරුණෑගල, පුත්තලම අනුරාධපුරය, මාතලේ හා කෑගල්ල දිස්ත්‍රික්කවල විගමනික ක්‍රමයකින් 5000ක් පමණ ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කරනු ලබන සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා විගමනික ශ්‍රමිකයෙන් යෝජනා කරන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලෙස රුපියල් 50,000 බැගින් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි .

විගමනික ප්‍රජාව ආර්ථික හා සමාජය වශයෙන් සවි බල ගැන්වීම, විගමනික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීමද සිදු වූ අතර විගමනික ශ්‍රමිකයන් අතරට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසමින් සුහද පිළිසඳරක නිරත වීමටද ජනාධිපතිවරයා අමතක නොකළේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

රටට විදේශ විනිමය උපයා දී නැවත පැමිණෙන ඔබට යළිත් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට ආණ්ඩුවෙන් සහයෝගය ලබා දී තිබෙනවා. මෙය ත්‍යාගයක් හෝ ප්‍රදානයක් නොවෙයි. ඔබ ඉටු කළ සේවය නිසා ඔබ ලබාගත් අයිතියක් බව කිවයුතුයි. විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි පසු පැරණි රැකියාවල නිරතවීමට ඇතැම් අය කැමැත්තක් දක්වන්නේ නැහැ. ජිවිතයේ ඉදිරියට යාමට එය ප්‍රමාණවත් නොවන බව ඔවුන් විශ්වාසය කරනවා. එවන් කැපවීමක් සහ ශක්තියක් තිබෙන අයට අත දිම වෙනුවෙන් මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එයින් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.

රට ආර්ථික දුෂ්කරතාවට මුහුණ දී සිටි අවස්ථාවේ ඔබ රටට විදේශ විනිමය උපයා දුන්නා. එලෙස මුදල් උපයා දුන්නේ නැතිනම් අපේ ආර්ථිකය ගොඩඟන්න බැරි වෙනවා. මම රට භාරගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී තිබු මොහොතකයි. මට භාර ගැනීමට සිදු වූයේ ඉන්ධන, පොහොර නැති, අනාගතයක් නැති රටක්. රට ඉදිරියට ගෙන යාමේ දී පළමු මාස කිහිපය තුළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දිමට සිදු වුණා. ඔබ මුදල් එව්වේ නැත්නම් අපට එම තත්වයට මුහුණ දීමට නොහැකි වෙනවා.

ඒ වගේම පොහොර නියමිත වේලාවට ලබා දීමට හැකි වූ නිසා පසුගිය කන්නවලදී අපට සාර්ථක අස්වැන්නක් ලැබුණා. මේ සමග අප රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියා. ඔබ රටට එවු සෑම ඩොලරයකම විශාල වටිනාකමක් තිබුණා. ඒ වෙනුවෙන් මම සියලුදෙනාට ස්තූති කරනවා. අපට පසුගිය සිංහල අලුත් අවුරුද්ද, වෙසක් සහ පොසොන් උත්සව හොදින් සැමරීමට හැකි වුණේ ඔබ ලබා දුන් දායකත්වය නිසයි. අප මෙම තත්ත්වයෙන් ඉදිරියට ගොස් රට දියුණු කළයුතුයි. අපට හැමදාම ණය අරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යන්න බැහැ. අප ලබාගත් විදේශ ණය ගෙවිය හැකි අන්දමින් අප මේ වන විට සහන ලබාගෙන තිබෙනවා. නමුත් ණය ගෙවු පමණින් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අප විදේශ විනිමය වැඩිකරගත යුතුයි. අපට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ලබාගන්නා තුරු ණය ලබාගැනීමට තිබෙනවා. ණය ගැනීමත් සමග අපේ ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා විදේශ විනිමය ප්‍රමාණය වැඩිකර ගැනීමට කටයුතු කළයුතුයි.

විදේශ රැකියා සඳහා යන අයට විධිමත් පුහුණුවක් ලබාදීම අවශ්‍යයි. ඔබ ඔබේ සේවය නිම කර නැවත රටට පැමිණෙන විට වඩා වෘත්තීය දැනුමක් ඇති ශ්‍රමිකයෙක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස මම ඇමතිතුමාට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අප අපනයන ආර්ථිකයකට ගමන් කළයුතුයි. විදේශ ආයෝජන ලබා ගත යුතුයි මෙන්ම සංචාරකයන් මෙරටට ගෙන්වා ගත යුතුයි. මෙම නව මාර්ගය ඔස්සේ රට දියුණු කළයුතුයි.

ඒ වගේම රට තුළ කෘෂිකර්මාන්තය දියුණු කළයුතුයි. එහිදී වී නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් අප කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අප රටක් වශයෙන් නොබියව ඉදිරියට යා යුතුයි.

මහා පරිමාණ සමාගම් සඳහා ආයෝජකයන් වැඩි වශයෙන් පැමිණෙනවා. එය හොද තත්ත්වයක්. ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කරනවා. නමුත් ඒ සඳහා පමණක් සීමා නොවි මෙරට සාමාන්‍ය ජනතාවත් නගා සිටුවීම මගේ අරමුණයි. ඒවෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අස්වැසුම සහ උරුමය වැඩසටහන ආරම්භ කළා. උරුමය වැඩසටහන තුළින් රටේ සියලු ජනතාවට අයිතිය හිමි වෙනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් අවශ්‍ය ණය ලබා දීමට රුපියල් බිලියන 50ක් වෙන් කර තිබෙනවා. රට දියුණු වන විට බිම් මට්ටමත් දියුණුව කරා ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ තුළින් සකස් කර තිබෙනවා.

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේදී තමන්ගේ ගමේ ආර්ථික දියුණුව තමන් බලා ගත යුතුයි. රටේ ආර්ථික දියුණුව පිළිබඳ වගකියන අතරම ගමේ දියුණුව සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබාදිම ද සිදු කරනවා. නැවත රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් නැහැ. දේශපාලනය කියන්නේ බොරු පොරොන්දු ලබාදීම හෝ මුහුණ බලා ඡන්දය ලබා දීම නොවෙයි. තමන්ගේ අනාගතය පිළිබඳ සිතා ඡන්දය භාවිතා කළ යුතුයි. එහිදී ඔබසියලු දෙනා වෙත පැවරී ඇති වගකීම සිහිපත් කරනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

ශ්‍රී ලංකාවට රටක් ලෙස දෙපයින් නැගී සිටීමට හැකි වූයේ රට විරුවන් නිසයි .2019 වසරේ දී විදේශ ශ්‍රමිකයින් විසින් ඩොලර් බිලියන 6.1ක් ලංකාවට එව්වා . 2022 වසර වනවිට එය ඩොලර් බිලියන 3දක්වා අඩු වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් රට විරුවන් මේ වසර තුළ දී අද වන විට ඩොලර් බිලියන 12 ක් ලංකාවට එවා තිබෙනවා. සමහර දේශපාලන නායකයෙන් ඩොලර් එවන්න එපා කියමින් දේශපාලන න්‍යාය පත්‍රයකට රටවිරුවන් නතුකර ගැනීමට උත්සාහ කළා . නමුත් රට විරුවන් මෙවැනි දේශපාලන ව්‍යාපාරවලට නතු වන්නේ නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා විදේශ ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව රටේ මූලික අවශ්‍යතාවයන්ට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට රජයට හැකි වුණා. විදේශ ශ්‍රමිකයන් දිරි ගැන්වීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළා. වාහන බලපත්‍ර ලබාදීම, වැඩි වාර ගණනක් විදෙස් ගත වූවන්ට තිළිණ පත් සහ සහතික පත් ලබා ලබාදීම වැනි වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කරනවා.

අද මේ සිදු කරන්නේ විගමනික ශ්‍රමිකයින් ඇගයීමට ලක් කිරීමයි. විගමනික ශ්‍රමිකයින් ව්‍යවසායකයින් කිරීමට අදාළ පහසුකම් සැපයීමට රජය අද කටයුතු කරනවා. ඔබ සියලුදෙනා රට වෙනුවෙන් සිදු කළ සේවයට බොහොම ස්තූතියි.

කම්කරු හා විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා,

මේ රටේ එක වකවානුවක යුද්ධයක් පැවතුණා. එයින් රට මුදවා ගැනීමට රණවිරුවන් විශාල කැප කිරීමක් සිදු කළා. ඒ වගේම 2022 වසරේදී ඊට වඩා ආර්ථික යුද්ධයකට රට මුහුණ දුන්නා. පොහොර නැතුව ගොවියා පාරට ආවා. පැය දාහතරක විදුලි කප්පාදුවක් සිදු වුණා. ඉන්ධන, ගෑස් නොමැතිව ජනතාව පාරට බැස විරෝධතා පැවැත්වුවා.

එතනින් ආරම්භ වූ අරගලය අවස්ථාවාදී පිරිසට නතුවෙලා රාජ්‍ය දේපල විනාශ කිරීම ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුණා. පොදුජන පෙරමුණේ කණ්ඩායම් අගමැතිකම ගන්න කියලා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළා. වසර පහක ජනාධිපතිකම තියෙන මට එම අභියෝග බාරගන්න බෑ කියා සජිත් ප්‍රේමදාස මහතා කිව්වා. ඒ වගේම පාර්ලිමේන්තු කණ්ඩායමක් අනුර කුමාර දිසානායක මහතා හමුවී පාලනය භාරගන්න කියා ආරාධනා කලා . ජනාධිපතිවරයාත් ඉල්ලා අස්විය යුතුයි, නැත්නම් රට භාරගන්න බෑ කියලා ඔහු කිව්වා.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු කොන්දේසියකින් තොරව රට භාරගෙන ජනතාව පීඩනයෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වුණා. අද ආර්ථික වශයෙන් රට ගොඩ ගැනීමට රටවිරුවන් ලෙස ඔබ දක්වන සහයෝගය ඉතාම ප්‍රශංසනීයයි .

බංග්ලාදේශයේ ෂෙයික් හසිනා අග්‍රාමාත්‍යවරිය පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන තුන් සීයෙන් 224ක් දිනා ගත්තා. පරාජය වූ දේශපාලන කණ්ඩායම් සහ ශිෂ්‍ය ව්‍යාපාරය එකතුවෙලා දැන් ඒ රටේ අරගලයක් ආරම්භ කර තිබෙනවා . මෙවැනි සිද්ධියක් මීට වසර දෙකකට පෙර ලංකාවෙත් සිදු වුණා. රට ගිනි තබා බලය ගැනීමට ඇතැම් අය මාන බලමින් සිටිනවා. මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරමින් තීන්දු තීරණ ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා,

වසර දෙකකට පෙර රට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදය නිසා රටේ අනාගතය අවිනිශ්චිතභාවයකට පත්ව තිබුණා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගැනීමෙන් පසු රට විරුවන් කෙරෙහි විශ්වාසය තබා ආර්ථික වැඩසටහන ක් ක්‍රියාත්මක කළා.

අද වන විට එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට පැමිණ තිබෙනවා. මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 20 දක්වා වැඩි වී තිබෙනවා. උද්ධමනය පහළ අගයකට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා . ශ්‍රී ලංකාවට ණය ලබා දුන් රටවල් සමඟ කතාකර ඇමෙරිකානු ඩොලර් බිලියන 08ක් අඩුකර ගැනීමට සමත් වුණා. එවැනි වික්‍රමයක් කළ හැකි දේශපාලන නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.
පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා

විදේශ ශ්‍රමික ශක්තිය රටට උචිත විදිහට ගලපා ගැනීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු කළා. මීට වසර දෙකකට පෙර පැවති දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා මෙම විගමනික ශ්‍රමිකයින් කළ සේවාව අනූපමේයයි. 134 දෙනාගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගන්නා අවස්ථාවේ වේ රට තිබුණේ දෙකොණ පත්තු වූ විලක්කුවක් ලෙසයි.

ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසය තිබූ විගමනික ශ්‍රමිකයින් නැවත මේ රටට මුදල් එවීමට කටයුතු කළා. මේ වන විට ආර්ථික වශයෙන් රට ඉදිරියට ඇවිත් තිබෙනවා . එය තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තියක් වීමට අප බලාපොරොත්තු වෙනවා .

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා,

අද ඔබේ පවුලේ අය විදේශගත වී සිටින්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් . ඔබගේ පවුල් අය ඇගයීමට ලක් කිරීම සඳහා රජය මෙවැනි වැඩසටහන් සිදුකිරීමෙන් ඔබට ශක්තියක් වීමට කටයුතු කර තිබෙනවා. ආර්ථික අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක ඔබ ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන ඒම සඳහා නව වැඩපිළිවලක් ආණ්ඩුව හදුන්වා දී තිබෙනවා.මේ සියල්ල කරන ගමන් අස්වැසුම , උරුමය, වැඩසටහන යටතේ ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. අද මේ ලබා දෙන සහන මඟින් ජීවිතය ජය ගැනීමට කටයුතු කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද , කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News