රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ

  • රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි.
  • එම ගමනට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරනවා.
  • මීට වසර දෙකකට පෙර මම භාරගත්තේ ආර්ථිකයක්, ආණ්ඩුවක් නොතිබූ රටක්.
  • මට භාරදුන් වගකීම මම නිසිලෙසම ඉටු කළා.
  • එහිදී මා සෑමවිටම කටයුතු කළේ මම වෙනුවෙන් නොව රට වෙනුවෙන්.
  • තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් එම ගමන ඉදිරියටම ගෙන යනවා – “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුව අමතමින් ජනපති පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට ප්‍රසන්න රණතුංග කළ යෝජනාව ගම්පහ දිස්ත්‍රික් ජනතාව ඒකමතිකව සම්මත කරයි.

පොහොට්ටුවේ මැති ඇමතිවරු 26ක් සමඟ ගම්පහ පළාත් පාලන නියෝජිතයන් 250කට වැඩි පිරිසක් ජනපතිගේ සහායට එක් වෙයි.

රටේ අනාගතය දේශපාල න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් අවධාරණය කළජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කඩවත බස් නැවතුම්පොළ අසළදී අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන රැළිය අමතමිනි.

රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති මෙම ජන හමුවට ගම්පහ දිස්ත්‍රික්කයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර රජයේ වැඩපිළිවෙළට එම ජනතාවගේ සහාය පළ කරමින් ඔවුන් මෙහිදී උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙහිදී ඉදිරිපත් කළඅතර ඒ වනවිට වේදිකාවේ රැඳී සිටි පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 26 දෙනෙකු හා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 250 දෙනෙකු මෙන්ම රැස්වීමට සහභාගී වූ 15,000කට අධික ජනතාව දෑත් ඔසවමින් එම යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2022 වසරේ ජූලි 21 දින තමා භාරගත්තේ ආර්ථිකයක් සහ ආණ්ඩුවක් නැති රටක් බවයි. තමා වෙත භාරදුන් එම වගකීම තමා නිසි ලෙසම ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා තමා සැම විටම කටයුතු කළේ තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව ද පැවසීය.

ඒ සමඟම අපට ආධාර ලබාදුන් ව්‍යාපෘතිවලට නැවත මුදල් ලැබෙනවා. සියලු තහංචි ඉවත් වෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු ආරම්භ කෙරනවා.

එදා මේ රටේ ඉන්ධන, විදුලිය, පොහොර තිබුණේ නැහැ. රෝහල්, පාසල් වසා දමා තිබුණා. නුවර පාරේත් රටේ අනෙකුත් ප්‍රදේශවලත් දිගටම පෝළිම් තිබුණා. අපි නැවත එම තත්ත්වය ඇති කරගත යුතු නැහැ. අප සියලුදෙනා එක්ව ඉදිරියට යා යුතුයි. වසර 04ක් මේ රටේ තරුණයන්ට රැකියා ලැබුණේ නැහැ. අප තරුණයන්ට රැකියා ලබා දියු යුතුයි. ජනතාවගේ ආදායම් මාර්ග දියුණු කළයුතුයි. මේ ගමනේදී අප කිසිවිටෙකත් දුප්පත් ජනතාව අමතක කළේ නැහැ. ඔවුන් වෙනුවෙන් අස්වැසුම සහ උරුමය වැඩසටහන ආරම්භ කළා. අද රටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ ප්‍රමාණවත් පරිදි තිබෙනවා. අපි කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ගමට ගෙනාවා. අවුරුදු 75 ක් මේ රටේ සිදු නොකළ වැඩ කොටසක් අප මෙම කෙටි කාලය තුළ සිදු කර තිබෙනවා.

තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් අපි මෙම විප්ලවය ගෙන යනවා. මෙය ඔබ වෙනුවෙන් ගෙන යන විප්ලවයක් බව කිවයුතුයි. එය ඉදිරියට ගෙන යා යුතුයි. අපි ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. තව වසර 20කින් අපේ දළ දේශීය නිෂ්පාදන පස් ගුණයකින් වැඩි කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. දැනටමත් අධ්‍යාපනයේ පුළුල් නවීකරණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. වෘත්තීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන අතරම විශ්වවිද්‍යාල ඇති කර රටම ඩිජිටල්කරණයට ලක් කරනවා.

එදා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ඉතා නොදියුණු පළාතක්ව තිබුණා. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එහි විශාල විප්ලවයක් සිදු කළා. වෙළද කලාප දෙකක් සහිත ලංකාවේ විශාලම කර්මාන්ත පුරයක් ලෙස මෙම ප්‍රදේශය ගොඩනැඟුවා.. මෙහි ඊළග පියවර ලෙස කෑරගල අක්කර 160ක තුන්වන වෙළද කලාපය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. තෙල් පිරිපහදුව ත්‍රිකුණාමල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් පසු තව විශාල වෙළඳ කලාපයක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. අපි රටේ අනෙකුත් ප්‍රදේශවලත් මෙම සංවර්ධනය ඇති කළ යුතුයි. එම වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ රටේ අනාගතය දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රය අනුව සකස් කරන්න බැහැ. ඊට මම ඉඩ දෙන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. ආඩම්බර ජාතියක් ලෙස අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අප රට තුළ වෙනසක් කළ යුතුයි. බොරු පොරොන්දු දී ඵලක් නැහැ.

දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට රට හදන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රයට දේශපාලනඥයන් කටයුතු කළයුතුයි. ඒ නිසා අප සමග එක් වී ඉදිරියට යමු කියා මම සජිත් ප්‍රේමදාස මහත්මයාට මෙන්ම අනුර දිසානායක මහත්මයාට ආරාධනා කරනවා. අපි සියනුදෙනා එකතුවෙලා ඒ ගමන යමු.

මේ ගම්පහ පුරවරය එක්සත් ජාතික පක්ෂයේ හදවතයි. ඩී.එස්. සේනානායක මැතිතුමා මෙන්ම ඩඩ්ලි සේනානායක මැතිතුමා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මෙන්ම මම ද දේශපාලනය ආරම්භ කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ නිසා අපි සියලුදෙනා එකට එක්විය යුතුයි. රටට නිදහස ලබා ගැනීම වෙනුවෙන් බන්ඩාරනායක මැතිතුමා ඩී.එස්. සේනානායක මැතිතුමා සමග එක්ව වැඩ කළා.

ඩඩ්ලි සේනානායක සිරිමාවෝ බන්ඩාරනායක එකට වැඩ කළා. 71 කැරැල්ලේදී සිරිමාවෝ මැතිණියට සහාය ලබාදෙන බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 89 කැරැල්ලේ දී බණ්ඩාරනායක මැතිණිය සහ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා ප්‍රේමදාස ජනාධිපතිවරයා එකට සාකච්ඡා කරමින් කටයුතු කළා. එදා අප රට ආරක්ෂා කර ගැනීමට එක්ව කටයුතු කර තිබෙනවා. එය සියලුදෙනා එය මතක තබා ගත යුතුයි.

1931 සර්ව ජන ඡන්ද බලය ලැබුණදා සිට අප දේශපාලනය කර තිබෙනවා. නමුත් මැතිවරණය අවසන් වූ පසු බලය මාරු කරගෙන තිබෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇගිල ගසන්නේ නැහැ. වෙන කිසිම රටක එවන් තත්ත්වයක් නැහැ. අපි මෙම ක්‍රමය ආඩම්බරයෙන් ඉදිරියට ගෙන යමු. අපට නැවත පෝළිම් යුගයට යන්න බැහැ. අප සියලු දෙනා එක්ව හොදින් ජීවත්විය හැකි රටක් ගොඩ නඟමු.ආරාධනයක් කළ විට පිළිතුරු ලබා දිය යුතුයි. එම පිළිතුර සුදුසු කාලයේ දී ලබා දෙනවා

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂ‍යේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත් වී අදට වසර දෙකක් වෙනවා . මීට වසර දෙකකට පෙර කොළඹ මහල් නිවාස වල ජීවත් වුන ජනතාවට මෙන්ම රටේ සමස්ත ජනතාවට ජීවත්වීමේ අයිතිය අහිමි වෙමින් තිබුණා. ඉන්ධන, ගෑස්, ඖෂධ නොමැති කාලයක් පසු කරමින් තිබුණේ. එදා එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිධූරය භාර ගන්නා ලෙස ආරාධනා කලා.

ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ එසේ මෙසේ දිස්ත්‍රික්කයක් නොවෙයි. එදා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 365,000 කින්. මෙදා සියලු දේශපාලන පක්ෂ එකතු වී ඒ හා සමාන වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඔබතුමා ජයග්‍රහණය කරවා ඔබතුමාට කළ ගුණ සළකන්න ගම්පහ ජනතාව කටයුතු කරනවා.
එළඹෙන ජනාධිපතිවරණයේදී ඔබ තීන්දුවක් ගත යුතුයි. අද අපි වැල් පාළමේ යනවා. කයියනායක අනුර කුමාර කිව්වෙත් වැල් පාළමේ එගොඩ වෙන්න ඕන කියලයි. වැල් පාළම අවදානම්. අත්දැකීම් නැති අයට වැල් පාළමේ යන්න බැහැ. මේ රටේ ජනතාව වැල් පාළමෙන් එගොඩ කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමෙන් පසු එතුමා වෙනුවෙන් පෙනී සිටීමට මට ශක්තිය දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවයි. 2024 වසරේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මා ඉදිරියට පැමිණ තිබෙන්නේත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශක්තිය නිසාමයි.

ඒ වගේම ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඉදිරි සතිය ඇතුලත තීරණයක් ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බව මා යෝජනා කරනවා. මේ පැමිණ සිටින ජනතාව එය ස්ථිර කළා. දැන් ඔබට ගැලවීමක් නෑ ජනාධිපතිතුමනි. ඔබ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුමයි. ඔබතුමාගේ ජයග්‍රහණය විජග්‍රහණයක් බවට පත් කිරීමට ගම්පහ දිස්ත්‍රික් ජනතාව ප්‍රමුඛ රටේ සෑම ප්‍රදේශයකම ජනතාව කැපවෙන බව සඳහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

එක්ව ජයගමු ජන රැළි මාලාවේ තුන්වන දැවැන්ත ජනරැළිය යි අද මේ පවත්වනු ලබන්නේ. පළමු ජනරැළිය මාතර දී, දෙවන ජනරැළිය මහනුවර දී , අද තුන්වෙනි ජනරැළිය ලෙස ගම්පහදී පවත්වනු ලබනවා. අද මේ වේදිකාවට ගොඩ වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවට ජීවත් වෙන්න රටක් බිහි කරපු නිසයි. රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු කොන්දේසියක් නොදමා ජනතාව පීඩාවෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වුණා.ඔබතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය ලබා දුන්නා.රට ගොඩනගන කොන්දේසිය , ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන කොන්දේසිය විතරයි ඔබතුමාට තිබුනේ.ඒ නිසා තමයි අපි ඔබට කොන්දේසි වීරහිතව සහයෝගය දක්වන්න එකතු වුණේ.

මේ රට ගොඩනගන්න සජිත් ප්‍රේමදාස මහත්තයා අනුර කුමාර මහත්තයාලා කතා කරනවා. එයාලා වේදිකාව උඩ නැගලා ආර්ථිකය ගැන කතා කළාට ආර්ථික අර්බුදය පැමිණි වෙලාවේ එම අභියෝගය බාරගන්න කවුරුත් හිටියේ නෑ. එහෙම නායකයින්ට රට භාර දුන්නොත් මොකද වෙන්නේ?

වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයා ගෙන ගිය වැඩ පිළිවෙල මුළු රටම දැක්කා. ආර්ථිකය යහපත් අතට හරවපු නිසා ජනතාව ජීවත්වීමේ හැකියාව ලැබී තිබෙනවා. එය ඔබලා ට දැනෙනවා . කැරට් කිලෝ එකත් රුපියල් 2000ට ගියා. නමුත් රට පාලනය කරන ජනාධිපතිතුමා නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය කරමින් ජනතාවට තුන්වේල කන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගා තිබෙනවා. එදා හෝටල් වල සංචාරකයින් හිටියේ නෑ. අද වනවිට සංචාරකයන් හෝටල්වල ඉන්නවා, ගොවියො ගොවි බිමට ගිහිල්ලා නිෂ්පාදනය වැඩි කරමින් තිබෙනවා. මේ සියල්ල සිදු කලේ ජනාධිපතිතුමා ගෙන යන නිසි කළමනාකරන ප්‍රතිපත්තිය නිසායි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමගේ ජයග්‍රහණය විජයග්‍රහණයකින් කෙළවර කරනතුරු අප කැපවීමෙන් කටයුතු කරනවා.

ඉදිරියේදී මීටත් වඩා දැවැන්ත වේදිකාවක් ඔබ වෙනුවෙන් ඉදිවෙනවා. එහිදී මීටත් වඩා පක්ෂ පාටවල නියෝජිතයින් ඔබට දකින්න ලැබේවි. ඒ ඔබතුමා පසුගිය වසර දෙක තුළ පෙන්වූ සාර්ථකත්වය විශ්වාස කරමින් බව කියන්න කැමතියි. කොන්දේසි විරහිතව මේ රට භාර ගත් ඔබතුමාට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බව මම ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා,

අද ගම්පහ දිස්ත්‍රික්කයටම සුවිශේෂී දිනයක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව අදට වසර දෙකක් වෙනවා. එතුමාගේ දෙවර්ෂ පූර්ණ සැමරීම අද ගම්පහදි සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දී තිබෙනවා. අද මේ වේදිකා දිහා බැලු විට සෑම පක්ෂයකටම අයත් දේශපාලන නායකයින් රැඳී ඉන්නවා. ඔවුන් රැඳී ඉන්නේ මේ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙනුයි.

මීට වසර දෙකහමාරකට පෙර පැවති දරුණු ආර්ථික අර්බුදය හමුවේ රට බාර ගැනීමට කිසිදු නායකයෙක් සිටියේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර නොගත්තා නම් අද ශ්‍රී ලංකාව තිබෙන තැන ජනතාව වශයෙන් ඔබ සිතිය යුතුයි. එතුමා රට බාර අරගෙන ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ජීවත් වීමේ හැකියාව සහිත පරිසරයක් නිර්මාණය කළා. එතුමාගේ නිවසත් ගිනි තබා අරගලකරුවන් විනාශ කළා. අරගලේ දේශපාලන කණ්ඩායම් බලාපොරොත්තු වුණේ රටම ගිනි තබා බලයට පැමිණීමයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ නිවස ගිනි තබද්දි ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණ තීන්දු තීරණ අරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළා.

එදා ඉන්ධන, ගෑස් පෝලිං , පැය දාහතරක විදුලි කප්පාදුවක් තිබෙන අවස්ථාවක රට භාරගන්න කිසිම නායකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික ප්‍රශ්නය විසඳුවේ ඉතාම සරල ආකාරයටයි. එය උහුලගන්න බැරි දේශපාලන කණ්ඩායම් අද වේදිකා ගානේ නැගලා මඩ ප්‍රචාර ගෙන යමින් බලය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහතා පළමුව අගමැතිවරයා ලෙස වැඩ භාර ගෙන පසුව ජනාධිපතිවරයා බවට පත්ව ජනතාවට අවශ්‍ය තරම් ඉන්ධන ගෑස් ලබාදීමට කටයුතු කළා. රටට අවශ්‍ය තරම් විදේශ විනිමය උපයා ගැනීමටත් එතුමාට ආර්ථික දැක්මක් තිබුණා. අද ඩොලර් බිලියන 5.5කට වඩා වැඩි මුදලක් මහා භාණ්ඩාගාරයට එකතු කර දීමට සමත් වී තිබෙනවා. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සපයා දීමට අවශ්‍ය තරම් විදේශ විනිමයක් ආණ්ඩුව සතුව තිබෙනවා.

නව දේශපාලන සංස්කෘතිය සමඟ ඉදිරියට යමින් ඉදිරි දශකය තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප කැපවීමෙන් කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී ස්ථීර ලෙස ජයග්‍රහණය කරවීමට කැපවීමෙන් කටයුතු කරමු. සමගි ජනබලවේගයේ අයටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වන ලෙසද ආරාධනා කරනවා.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ යූ.එන්.පී පාක්ෂිකයෙක් කියලා. සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් කියලා. සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ කියලා. සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ ස.ජ.බේ කියලා. නමුත් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නේ මේ කිසිම පක්ෂයක නොව රටේ මහජනතාවගේ පක්ෂයේ බව කිවයුතුයි. එතුමාට පක්ෂයක් නැහැ. රටේ ඉන්න සියලුම පක්ෂවල පාක්ෂිකයින්ට කියන්න තියෙන්නේ අත්හදාබැලීම් සිදුකර නැවත වරක් වරද්දා ගන්න එපා. මේක අත්හදාබැලීම් සිදු කරන වේලාවක් නොවෙයි. බොහෝම අමාරුවෙන් අද රට තිබෙන තත්ත්වයට ජනාධිපතිතුමා රට ගෙනැවිත් තිබෙනවා.

පසුගියදා දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැතිතුමා ප්‍රකාශයක් සිදු කර තිබුණා. රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙකු මේ රටේ ජනතාව නැතිකර ගතහොත් එය ශ්‍රී ලංකාවේ විනාශය බව සඳහන් කර තිබුණා. සජිත් ප්‍රේමදාස මහත්තයා පසුගිය ජනාධිපතිවරණයෙන් පැරදුණු පසුව ඒ රුස්වීම් 150හිම කතා කළ මට සති 3ක් යන තුරු ඔහුව හොයාගන්නත් නොහැකි වුණා. ඔහු හැංගී සිටියා. අඩුම තරමින් අපට ජනරැළි පැවැත්වීම වෙනුවෙන් වියදම් වූ බිල් පියවාගැනීමට හෝ නොහැකි තත්ත්වයක තිබුණා. නමුත් අවසානයේ අපට ඔහු අතහැර දැමීමට සිදුවුණා. ඒ අන් කිසිවක් නිසා නොව ජනතාව දුක්විඳිමන් සිටියදී අභියෝගය භාරගන්නේ නැතිව මග හැරිය නිසයි. එවැනි අභියෝගයක් භාර ගැනීමට නොහැකි නායකයෙක් මේ රටේ වගකීම භාරගන්නේ නැහැ. එනිසා සජබේ සිටින සියලුදෙනාගෙන් මේ යථාර්තය තේරුම්ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය පක්ෂ නායකයින් දිනවන මැතිවරණයක් නොවෙයි. මේ මැතිවරණය ඔබේ දරුවාගේ අනාගතය, රටේ අනාගතය තීරණය කරන මැතිවරණයක් බව ඔබ හොඳින් මතක තබාගත යුතුයි. ගම්පහ දිස්ත්‍රික්කය යනු මේ රටේ මැතිවරණයක තීරණාත්මක දිස්ත්‍රිකයක්. එ නිසා අප සියලුදෙනා එක්ව මේ ගමන ඉදිරියට යමු.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ආපසු හැරවිය නොහැකියි. නියත වශයෙන්ම එතුමා මේ සටන ජය ගන්නවා.

සෞඛ්‍යය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,

අද ගම්පහට පැමිණ සිටින ජන ගඟ දැක්කම අපට දෙපාරක් හිතන්න දෙයක් නැහැ. මීළඟ ජනාධිපතිවරණයේදී නැවත මේ රටේ ජනාධිපතිධූරයට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බව කිසිඳු සැකයක් නැහැ. කඩවත නගරය සිසාරා මෑත ඉතිහාසයේ අපි දුටු විශාලතම ජන ගඟ අද කඩවත නගරයට පැමිණ තිබෙනවා.

නිදහසින් පසු ශ්‍රී ලංකාව අධ්‍යාපනික, සෞඛ්‍ය, තාක්ෂණය, යටිතල පහසුකම් ආදී සියලුම අංශයන්ගේ සංවර්ධනයට ලක්වුණා. 2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ රටේ සංවර්ධනය පහත වැටුණා. ආදායම් පහත වැටුණා.

ජනතාව අපහසුතාවට පත්වුණා. ඒ තීරණාත්මක හැරවුම් ලක්ෂයේදී ඒ අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වූ නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව අප ඉතාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. යුද්ධයෙන් බැටකාපු ජනතාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහනය සැලසුවාක් මෙන්, කොවිඩ් වසංගතයට බැටකාපු ජනතාවට ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහනය සැලසුවාක් මෙන්, ආර්ථික අර්බුදයෙන් බැට කෑ ජනතාවට සහන සැලසුවේ අන් කවරෙකුත් නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.

අද රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවර වී තිබෙනවා. බැංකු පොළී අනුපාත ක්‍රමානුකූළව පහත වැටෙනවා. විදේශ සංචිත ඩොලර් බිලියන 6 ඉක්මවා තිබෙනවා. ආර්ථිකය ස්ථාවර වී ජනතාවගේ විශ්වාසය ඇති වී තිබෙනවා. ඒ මතින් මේ රට කඩිනම් දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන යන නියමවුවකු අපට හිමි වී තිබෙනවා. මේ අවස්ථාවේ රටේ ආර්ථිකය ස්ථාවර කරමින් අනාගතයක පෙර දැක්මක් සහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ ගමන තව දුරටක් ඉදිරියට යමු කියා මම ඔබට කියනවා.

වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා,

මේ රට ගැන සිතන, රටේ ඉදිරි ගමන සිතන පිරිසක් අද අප සමග එක්ව සිටිනවා. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මගේ මාමණ්ඩිය වෙනවා. ලෝකේ පළමු අගමැතිනිය සිරිමාවෝ මැතිනිය මගේ නැන්දා වෙනවා. දේශපාලන පවුලකින් පැවත එන මම ඉතා දුෂ්කර තීන්දුවක් ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට වෙනුවෙන් ආර්ථිකය ගොඩනැගීම සඳහා කළ සේවාව නිසයි. පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරන ඡන්ද විමසීමේදී මම ඡන්දය ප්‍රකාශ කළේ අත වෙවුලද්දීයි. නමුත් මෙවර මා අත දිගහැර රනිල් වික්‍රමසිංහ මහතා ට ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වනවා.

මහනුවරට පැමිණ අනුර කුමාර දිසානායක මහතා ලොහාන් කෝ කියලා ඇහුවා. මම එතුමට කියන්න කැමතියි යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා. 88-89 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ ලංකාවට කළ දේ ගැන සැවොම දන්නවා. ජනතා විමුක්ති පෙරමුණට අද සහයෝගය දෙන තරුණ අහිංසක ළමයින් නොමඟ යන්න එපා කියා මම මතක් කර දෙන්න කැමතියි. මේ රටට ආදරේ නම් සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

සජිත් ප්‍රේමදාස මහතා උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු කියන නායකයෙකුට රටක් ගෙනියන්න පුළුවන්ද කියා මම ඔබලාගෙන් අහන්න කැමතියි.

මම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දකුණු අත. එහෙම තියෙද්දි මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන්නේ මේ රටේ ඉදිරි දශකය තුළ ආර්ථිකය ගොඩනැගීමට හැක්කේ එතුමට පමණක් බව දන්න නිසයි. ඔබලාට හොඳ අනාගතයක් නිර්මාණය කරන්න ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න එකතු වෙන්න. අපි නැවත ගම්පහට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරලා බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා,

අනෙක් ජනාධිපති අපේක්ෂකවරු ගම්පහට රැස් කළ ජනතාවට වඩා එක් අයකු හෝ වැඩියෙන් ගෙන එන බවට කළ අභියොග්ය ජයගනිමින් අද මේ භූමියට 15,000කට වැඩිය ජන ගංගාවක් පැමිණ තිබෙනවා. .ඒ වෙනුවෙන් හැමදාමත් සවියක් වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රට එක් සේසත් කර දැවැන්ත සංවර්ධනයක් සිදු කළ නායකයෙක්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ රට කොවිඩ් වසංගතයෙන් බේරා ගත් ජනාධිපතිවරයායි. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රට බිංදුවටම වැටී තිබූ මොහොකේ ඒ අභියෝග සඳහා නොබියව මුහුණ දෙමින් කොන්දේසි විරහිතව රට බාර ගෙන රට අද මේ තත්ත්වයට ගෙන ඒමට දැවැන්ත කාර්යභාරයක් සිදු කළ ජනාධිපතිවරයායි. සියලු දෙනා එක් වුවහොත් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව මුළු ලෝකයටම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔහුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හැරවුම් ලක්ෂය අද මේ ජන රැළිය බව මම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ලොහාන් රත්වත්තේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගීතා කුමාරසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, අකිල එල්ලාවල, රජිකා වික්‍රමසිංහ, ප්‍රදීප් උදුගොඩ, මධුර විතානගේ, ප්‍රේමනාත් දොලවත්ත, ජයන්ත වීරසිංහ, සහන් ප්‍රදීප්, උපුල් මහේන්ද්‍ර, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, ප්‍රේමනාත් සී දොලවත්ත, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම්, එක්සත්ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පොදු ජන පෙරමුණේ දේශපාලන නියෝජිතයන් රැසක් ජන හමුවට එක්ව සිටියහ.

PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News