බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීමට දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය

බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි දේශීය දෙපාර්‌තමේන්තුවේ ආදායම් තීරණයක් පිළිබඳ අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නෙකුට එම තීරණය පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි සඳහන් වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් වන සිය තීරණය වසර දෙකක් නොඉක්මවීමට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් ලබා දිය යුතු වනවා. එකී තීරණය පිළිබඳව ද අතෘප්තියට පත්වන යම් බදු ගෙවන්නකුට එම තීරණය සමාලෝචනය කිරීම සඳහා බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර, එවැනි සමාලෝචන ඉල්ලීමක් ලැබුණු දිනයේ බදු අභියාචනා කොමිෂන් සභාවේ තීරණය දින 270ක් තුළ ලබා දිය යුතු බවද සඳහන්.

ඒ අනුව, එකී අභියාචන ක්‍රියාවලිය සඳහා වසර තුනකට ආසන්න කාලයක් ගත විය හැකි අතර, ඒ හේතුවෙන් පසුගිය කාලයේ රුපියල් බිලියන 73ක පමණ බදු මුදලක් රාජ්‍ය ආදායමට අය කර ගැනීමට නොහැකිව පවතින බවයි රජය පෙන්වා දෙන්නේ.

එම කරුණු සැලකිල්ලට ගෙන, බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ විධිමත් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.