කොවිඩ් මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය

COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

COVID-19 හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශවල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මියගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රමවේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබ තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, COVID-19ට ගොදුරු වූ මුස්ලිම් ජාතික පුද්ගලයින් 276 දෙනෙකුගේ මෘතදේහ ආදාහනය කර ඇති අතර, පසුව 2021 පෙබරවාරි මාසයේදී එවැනි පුද්ගලයින් සඳහා දැඩි සීමාවන් සහිතව භූමදානය කිරීමට අවසර ලබාදී තිබූ බවද එහි සඳහන්.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා, විදේශ කටයුතු අමාත්‍යතුමා සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.