මෙවර මැතිවරණයට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය පළකිරීමේ පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

පළමුවරට මෙවර ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

එසේම ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සංඥා භාෂාවෙන් ඡන්ද පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත්, එහි නියමු ව්‍යාපෘති කිහිපයක් පසුගිය කාලයේ ස්ථාන කිහිපයක ක්‍රියාත්මක කළ බවත්, එහි සාර්ථකත්වය මත  මෙවර ජනාධිපතිවරණය සඳහා එම පහසුකම් ලබාදීමට නියමිත බවත් සඳහන් වෙනවා.

ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන්, එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කරන දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත පිරිස් හඳුනාගෙන, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.