ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබෙනවා.

බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගැනීම, සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවද, තව්තිසා දෙව් ලොවට වැඩම කර මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වා දෙමින් අභිධර්ම දේශනා කිරීමද සිදුකරනු ලැබුයේ අද වැනි පොහොය දිනයකයි.

එසේම දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ ද ඇසළ පොහොය දිනයකදියි.

එමෙන්ම විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලා ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ සිට වස්වැසීම ආරම්භ කරනු ලබනවා.