ට්‍රම්ප්ට වෙඩි තැබූ තෝමස් මැතිව් කෲක්ස්

පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි තැබූ තුවක්කුකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් බව එෆ්බිඅයි පවසයි.

“ජූලි 13 වැනි දින පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ ප්‍රයත්නයට සම්බන්ධ 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස්ට, විදේශීය ත්‍රස්ත සබඳතා නොමැති බවත් සැකකරු පිළිබඳව මිට පෙර අවධානයට පාත්‍ර කිරීම සඳහා කිසිදු හේතුවක් නොතිබිණි.” යැයි එෆ්බිඅයි ප්‍රකාශකයෙක් පැවැසීය.

ෆෙඩරල් විමර්ශකයන් පැවසුවේ, තුවක්කුකරු හඳුනාගැනීම සඳහා විධිමත් වාර්තා තවම නොමැති බැවින් ඔහුගේ අනන්‍යතාව පිළිබඳ ජෛව තහවුරු කිරීමක් සැපයීම සඳහා ඔහුගේ ඩිඑන්ඒ විශ්ලේෂණය කළ බවය.

කෲක්ස් පෙන්සිල්වේනියාවේ රිපබ්ලිකන් ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වී ඇති නමුත් ඊට පෙර ඩිමොක්‍රටික් කණ්ඩායමකට ඩොලර් 15ක පරිත්‍යාගයක් කළ බව වාර්තා වී තිබේ.

බෙතෙල් පාර්ක් උසස් පාසලේ 2022 උපාධිධාරියෙකු වූ කෲක්ස් , අර්ධ ස්වයංක්‍රීය AR-15 රයිෆලයකින් සන්නද්ධව සිටි බව ආරංචි මාර්ග පවසයි. ඔහු වේදිකාවේ සිට අඩි 400ක් පමණ දුරින්, රැලිය පැවති ප්‍රදේශයෙන් පිටත මඩුවක වහලයේ සිට වෙඩි තබා ඇති බවට ඇසින් දුටු සාක්ෂි අනාවරණය කර තිබේ.

ට්‍රම්ප් රැලිය ඇමතීම ආරම්භ කළ මොහොතේ ‘වලසෙකු සේ’ කෲක්ස් ගොඩනැඟිල්ල උඩට බඩගාගෙන යනු දුටු බවද එම සාක්ෂිකරුවකු පවසා සිටියේය.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට පැයකින් පමණ යාහැකි දුරින් කෲක්ස්ගේ නිවෙස පිහිටා තිබිණි. 2022 දී සිය උපාධිය ලබා ගත් හෙතෙම, ගණිත හා විද්‍යා මූල ධර්ම විෂයය වෙනුවෙන් ඩොලර් 500 ක ‘තරු සම්මානයක්’ ලබා තිබිණි. කෲක්ස් මෙවර පළමු වරට ඡන්දය ප්‍රකාශ කරන්නකු වීම ද විශේෂත්වයකි.