අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ගොඩනඟනවා

  • අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අභිනව පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදෙමින් ජනපති පවසයි.

රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (13) එක් වෙමිනි.

පසුගිය ආර්ථික හා දේශපාලන බිඳ වැටීම හමුවේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි දේශපාලන කණ්ඩායමක් රට තුළ නිර්මාණය වූ බවත්, වසර 05කට බලය ලබා ගන්නේ කෙසේද කියා සහ පවතින ආණ්ඩුව පෙරළන්නේ කෙසේද කියා සිතන දේශපාලන ක්‍රමය වෙනුවට ජාතික මට්ටමින් සිතා කටයුතු කළ හැකි දේශපාලන ක්‍රමයක් ඉදිරියට ද රටට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

සමරු ඵලකය නිරාවරණය කර අභිනව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා සිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

පිහිණුම් තටාකය පිහිටි භූමිය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට පවරදීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

2023 වසරේ අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතික හා තිළිණපත් ලබා දීමට ද ජනාධිපතිවරයා එක් විය.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආදී සිසුන් විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් රුපියල් 10,000ක මුදල විදුහල්පති පර්සි මහනාම මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මෙම පිහුණුම් තටාකය ඉදිකිරීම වෙනුවෙන් රජයෙන් සහ ආදි ශිෂ්‍ය සංගමයෙන් ද සහාය ලබා දී තිබෙනවා. දැන් ඔබේ පාසලට හොඳ පිහිණුම් තටාකයක් ලැබී තිබෙනවා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා සිදු කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උතුරු මැද පළාත තුළ ආරම්භ කරනු ලැබුවේ මෙම පාසලෙන්. මෙය උතුරු මැද පළාතේ පළමු මධ්‍ය මහා විද්‍යාලයයි.

එදා මෙදා තුර මේ පාසල විශාල දියුණුවක් ලබා තිබෙනවා. විදුහල්පතිතුමා පාසල සඳහා තුන් මහල් ගොඩනැඟිල්ලක් ඉල්ලා තිබෙනවා. එම ගොඩනැගිල්ල ලබා දෙන ලෙස මම අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙනවා.

පිහිණුම් තටාකයේ ඉදිකිරීම් අවසන් කර තිබෙන නිසා සහ විද්‍යාලයේ 77 වන සංවත්සරය පැමිණෙන නිසා ජනාධිපති කාර්යාලය මඟින් මෙම විද්‍යාලයට අංග සම්පූර්ණ කායවර්ධන මධ්‍යස්ථානයක් ලබාදීමට ද කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි.

මෙම පාසල වෙනුවෙන් අදහස් දැක්වූ ශිෂ්‍යයා ඔවුන්ට හොඳ අනාගතයක් අවශ්‍ය බව සිය කතාවේදී සඳහන් කළා. පසුගිය වසර දෙක තුන දෙස බැලු විට එම ඉල්ලීම ඉතා සාධාරණයි.

අප එම අනාගතය ගොඩනඟා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සිතිය යුතුයි. රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ එහි පළමු අභියෝගය අප මේ වන විට ජයග්‍රහණය කර තිබෙනවා.

අපට පවතින ආර්ථක ක්‍රමය අනුව ඉදිරියට යන්න බැහැ. එවිට රටක් ලෙස අපට තවත් ණය වීමට සිදු වෙනවා. එසේ සිදුවුවහොත් මේ දරුවන් බලාපොරොත්තු වන අනාගතය ගොඩනැගීමට නොහැකි වෙනවා. ඒ වගේම තවත් වසර 15කින් අපට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. රටක් ලෙස ඉදිරියට යනවාද, නැවත ආර්ථික කඩා වැටීමට ඉඩ දෙනවාද කියා අප තීරණය කළ යුතුයි. මෙහි සිටින ඔබ අවම වශයෙන් තවත් අවුරුදු 50ක් පමණ ජීවත් වෙනවා. එසේ නම් අප ආණ්ඩුවක් ලෙස අවධානය යොමු කළ යුත්තේ වසර 2050 දෙස නොව වසර 2075 පිළිබඳවයි.

අපේ රටේ ආර්ථිකය ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙන්නේ ඒ නිසයි. රටේ පවතින ආර්ථික ක්‍රමවේද වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් අප ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී කෘෂි නවීකරණ වැඩසටහන ඉතා වැදගත් වෙනවා. රටේ ආර්ථිකය යළි ඔසවා තැබීමට හැකි වුණේ මේ රටේ ගොවි ජනතාව නිසයි. ඔවුන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දීමට අප කටයුතු කළා. ගොවි ජනතාව පසුගිය වගා කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තූති කිරීමක් ලෙස අප උරුමය සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙම කාර්යයේදී උතුරු මැද පළාතේ ගොවි ජනතාවගෙන්ද විශාල සේවාවක් ඉටු වුණා.

ඉදිරියේදී ලෝකයේ ජනගහණය තවත් බිලියන 02කින් පමණ වැඩි වෙනවා. ඒ කියන්නේ 2050 වන විට බිලියන 02කට වැඩිපුර ආහාර දෙන්න වෙනවා. අපි නවීන තාක්ෂණය යොදවා උපරිම නිෂ්පාදනයක් සිදුකර ලෝකයට අවශ්‍ය ආහාර සපයාදීමට සූදානම් විය යුතුයි. මෙම වියළි කලාපයෙන් පමණක් අපට සහල්වලින් ස්වයංපෝෂිත විය හැකියි. ගොවි ජනතාවගේ අත මිට සරු වූ විට එම මුදල් මෙම අනුරාධපුරය, දඹුල්ල, වවුනියා ප්‍රදේශවලට ලැබෙනවා. එවිට එම නගර දියුණු වෙනවා.

ඒ වගේම මෙම පළාත්වල සූර්ය බලශක්ති ව්‍යාපෘති මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියාව තිබෙනවා. අප අලුතින් සිතා අලුත් ගමනක් යා යුතුයි. ත්‍රිකුණාමල වරාය දියුණු කිරීමේ ව්‍යාපෘතිය අප ඉන්දියාව සමඟ එක්ව සිදු කරනවා. මෙහි ප්‍රතිලාභය මෙම අනුරාධපුරයට ද ලැබෙනවා.

ඒ වගේම අප නව විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කරනවා. ඒ යටතේ නව තාක්ෂණ විශ්වවිද්‍යාල 03ක් ලැබෙනවා. එම තාක්ෂණ දැනුම ලබාදීමට විදේශ විශ්වවිද්‍යාල ඉදිරිපත් වී සිටිනවා. අප මේ අලුත් ගමන යා යුතුයි. ඔබ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමඟ ඉදිරියට යා යුතුයි. අනාගතය වෙත යාමේදී අප අලුතින් සිතිය යුතුයි.

ඇතැම් දේශපාලනඥයන් සිතන්නේ අවුරුදු 05ක් බලයට එන්නේ කොහොමද කියලයි. නැත්නම් බලයේ ඉන්න කෙනා අයින් කරන්නේ කොහොමද කියා ඔවුන් සිතනවා. මෙම දේශපාලන ක්‍රමය නිසා අවසානයේ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ සමඟම මේ රටේ දේශපාලන ක්‍රමය ද බිඳ වැටුණා.

අසීරු කාලයක රට භාරගෙන සියලු දේශපාලන පක්ෂවල පිරිස එක් කර ගනිමින් රටේ ආර්ථිකය ගොඩගැනීමට මට හැකි වුණා. ඒ අනුව මෙරට පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි කණ්ඩායමක් නිර්මාණය වුණා. එම ක්‍රමය අනාගතයටත් අවශ්‍යයි. කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළද රට ගැන සිතිය යුතුයි. අප රටක් ලෙස සාර්ථක වනවාද නැද්ද කියා තීරණය වන්නේ ඉදිරි වසර 05 තුළයි. ඒ නිසා අප අනාගතය දෙස අවධානය යොමු කරමින් කටයුතු කරමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

අද අනුරාධපුර හදවත බඳු වන මෙම මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් තටාකය සිසු අයිතියට පත්වන දිනයයි. පසුගිය සමයේ මේ රටේ ඇතිවූ ව්‍යාකූල තත්ත්වයන් තුළ මෙම තටාකයේ වැඩකටයුතු අඩාල වී තිබුණා . නමුත් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගත් පසු එය නිම කිරීම සඳහා මුදල් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන අතරතුර මූල්‍ය තත්ත්වයෙන් රට ඉදිරියට ගෙන යාමට වැඩසටහන් ක්‍රියාත්මක කළා.

ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වී රටේ ආර්ථිකය මෙන්ම ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට රජයට හැකි වුණා. අප බලාපොරොත්තු වූ කාලයට වඩා වේගයෙන් රට යථාතත්ත්වයට පත්කිරීමට හැකි වුණේ ජනාධිපතිතුමා ගේ නිවැරැදි තීන්දු තීරණ නිසයි. නව ආර්ථික ප්‍රතිසංස්කරණ නීති හදුන්වාදෙමින් නැවත ආර්ථිකය කඩා නොවැටෙන තැනකට ගෙන යාමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා . ඒ සඳහා නව වැඩපිළිවෙළක් හදුන්වා දී තිබෙනවා . මේ වන විට අධ්‍යාපන ක්‍රමයේ මෙන්ම සෞඛ්‍ය ක්‍රමයේ යටිතල පහසුකම් වල හා ආර්ථිකයේ පරිවර්තනීය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ සියල්ල සිදු කරන්නේ ජනතාවගේ අනාගතය සුබවාදී කිරීමටයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන , දුමින්ද දිසානායක, රෝහණ බණ්ඩාර, ඉෂාක් රහුමාන්, හිටපු අමාත්‍ය පී.හැරිසන්, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරුන් ද ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් ද, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති පර්සි මහානාම මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් හා සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.