විවේචන වලින් පසු ‘වසන්ත නාටක එපැයි’ පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.
ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශන වලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමිනි.

මෙයට ආසන්න හේතුව වූයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය සම්බන්ධිත සැකකරුවන් කරන පාපොච්චාරණ , සීසීටීවී දර්ශන ඇතුළු සංවේදී කරුණු රැසක් ඇතැමුන් අගතියට පත්කරමින්, කිසිදු නියාමනයකින් තොරව හා පරීක්ෂණ වලට බාධාවන අයුරින් මාධ්‍ය වෙත ලබාදෙන්නට පොලිසිය ගත් උත්සාහයයි. මෙම උත්සාහය ‘නාටකයක්’ බවත් ඝාතන සැලසුම වෙනත් අයෙකු කර ඇතිචැයි ඒ ගැන සැකයක් මතුවන බවත් ඇතැමුන් අදහස් දක්වන්නට පවා මේ නිසා හේතුවිය.

පොලිස්පතිගේ චක්‍රලේඛනය පිටවන්නට පෙර දුලාන් නමැති සැකකරුගේ නීතීඥයාත් සමගි තරුණ නීතීඥ ව්‍යාපාරයත්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂත් මෙම නාටකය දැඩි දෝෂාරෝපණයට ලක්කර තිබුණි.

සැකකරුවන්ගේ පාපොච්චාරණ, සාක්ෂි සහ අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍යයට නිකුත් කිරීම නීතිමය ක්‍රියාවලියට අහිතකර පමණක් නොව ඊට සම්බන්ධ අයගේ ජීවිතවලට තර්ජනයක් බව සමගි තරුණ නීතිඥ ව්‍යාපාරය පෙන්වා දුන්නේය.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී වීඩියෝ දර්ශන නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොලිසියට දැඩි දෝෂාරෝපණයක්
අද පාර්ලිමේන්තුව අමතමින් සිදු කළේය.

එය නීතිය උල්ලංඝණය කිරීමක් බව පවසමින් ඔහු කියා සිටියේ එවැනි තත්ත්වයක් යටතේ එවැනි ප්‍රශ්න කිරීම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවිය යුතු බවයි.