ගිණු­ම­කින් ලක්ෂ 50ක් ඇද්ද ආග­ර­තැන්න ග්‍රාමීය බැංකුවේ මැනේ­ජර් නෝනාට ලිපි­කා­රි­නි­යට මාංචු

සීමා­ස­හිත පස්සර විවිධ සේවා සමු­ප­කාර සමි­ති­යට අයත් ආග­ර­තැන්න ග්‍රාමීය බැංකු ශාඛා­වෙන් රුපි­යල් ලක්ෂ 50ක මුද­ලක් වංචා සහ­ගත ලෙස ලබා­ගත් බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සැක­පිට එහි කළ­ම­නා­කා­රි­නිය සහ ලිපි­කා­රි­නි­යක අත්අ­ඩං­ගු­වට ගත් බව බදුල්ල පොලිස් කොට්ඨාස විශේෂ අප­රාධ විම­ර්ශන අංශය පව­සයි. ඔවුන් මෙසේ වංචා සහ­ගත ලෙස ලබා­ගෙන ඇත්තේ පස්සර ආග­ර­තැන්න පදිංචි මවක සහ පුතකු විසින් මේ බැංකුවේ පව­ත්වා­ගෙන යන ඒකා­බද්ධ ගිණු­මක තැන්පත් කළ මුදල් බවද පොලි­සිය පැව­සීය.

තැන්පත් කළ මුදල ඇප­යට තබා ණය මුදල් ගන්නා ලෙස තැන්ප­ත්ක­රු­වන් නමින් කූට අය­දු­ම්පත් සකසා අවස්ථා දෙක­කදී රු.ලක්ෂ 44ක මුද­ලක් ගෙන ඇති බවත්, අව­සන් වශ­යෙන් ගිණුමේ ඉති­රිව තිබූ රු. 6,000ක මුදල, මුදල් ආපසු ගැනීමේ පත්‍රි­කා­වක් කූට ලෙස සකසා එම මුද­ලද ගෙන ඇති බවත් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වූ බවද පොලි­සිය සඳ­හන් කළේය. ගිණුම හිමි මව සහ පුතා ගම්මි­රිස් වගා­වෙන් ලද මුදල් ඒකා­බද්ධ ගිණුමේ තැන්පත් කර තිබි­යදී බැංකු කළ­ම­නා­කා­රිය සහ ලිපි­කා­රි­නිය මෙසේ වංචා සහ­ගත ලෙස ගෙන ඇති බව හෙළිව තිබේ. එම මව සහ පුතා විසින් කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශ­නය කළ අතර, රුපි­යල් ලක්ෂ 50ක මුදල වංචා සහ­ගත ලෙස ගැනීම සඳහා සැක­කා­රි­යන් උප­යෝගි කර­ගත් කූට ලේඛ­නද සොයා­ගත් බවත් ඒවායේ යොදා ඇත්තේ ව්‍යාජ අත්සන් බව තහ­වුරු වී ඇති බවත් පොලි­සිය තව­දු­ර­ටත් සඳ­හන් කරයි.

සැක­කා­රියෝ පස්සර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු මේ මස 24 දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබූහ. ඔවුන් දෙදෙ­නාට විරු­ද්ධව පොදු දේපළ පනත යටතේ නඩු පැව­රී­මට පොලි­සිය පිය­වර ගෙන තිබේ. බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති සුජිත් වෙද­මුල්ල සහ බදුල්ල කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වසන්ත කන්දෙ­වත්ත මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත බදුල්ල කොට්ඨා­සය විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජය­ව­ර්ධන මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ පොලිස් සැර­යන් (271483) ඉන්දික මහතා විසින් මේ විම­ර්ශ­නය සිදු කර තිබේ.