මන්නාරම රදගුරුට තර්ජනය කරලා, චිරන්ත අමරසිංහට නොතිසි.

සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට ලබන 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමාට බැණ තර්ජනය කර එම සංවාදය ජනපතිවරයාගේ ප්‍රතිරූපය කෙලෙසන පරිදි සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලා අදාළ නියෝගය නිකුත් කිරීමටයි, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණු වෙල මහතා අද (11) කටයුතු ක‌ළේ.

මන්නාරම සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය ජුනි මස උතුරේ සංචාරයක නිරත වුණා.

එහි දී රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමා හමුවුණා.

මේ සම්බන්ධයෙන් තමන්ට සැකකරු දුරකතනයෙන් බැන තර්ජනය කළ බවට මන්නාරම රදගුරුතුමා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

සැකකරු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තොරතුරු පළ කර ඇති බව ද සඳහන්.

පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සැකකරුට අද දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා තිබුණ ද ඔහු පැමිණ නොමැති බැවින් වරෙන්තු නිකුත් කරන ලෙසට ද පොලිසිය ඉල්ලා සිටියා.

සැකකරුගේ මව අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට නොතීසී නිකුත් කරමින් අධිකරණයේ පෙනී සිටින ලෙසටයි නියෝග කළේ.