වර්ජනය දින රාජකාරියට පැමිණි ගුරුවරුන්ට පමණක් වැටුප් වැඩි වන ආකාරය – ඇමති බන්දුල

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැහැදිලි කළා.

ඒ අනුව 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335කින්, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා රු 1,630ක වැටුප් වර්ධකයෙකුත් විශ්‍රාම වැටුපට බලනොපාන ආකාරයට වැටුප් වර්ධකයක් ලෙස ලැබෙනු ඇත.

රාජ්‍ය අංශයේ අනෙකුත් සුළු සේවකයින් හා අනෙකුත් වැඩකරපු සියලුදෙනාටත් මෙවැනි වැටුප් වර්ධකයන් ලැබෙන බව අමාත්‍යවරයා පවසනවා.

භාණ්ඩාගාරයට මුදල් නැත්නම් කොතරම් උද්ඝෝෂණය කරත්, තොතරම් වැඩ වර්ජනය කරත්, කොතරම් සාප කළත්, පොල් ගැහුවත්, දේවාලවලට ගියත් මුදල් ලබා දිය නොහැකි බව අමාත්‍යවරා වැඩිදුරටත් සඳහන් කළා.

වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ, විධායක ශ්‍රේණියේ නොවන සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමටත්, ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ඊයේ (09) කැබිනට් අනුමැතිය හිමිවුණා.