මහල් නිවාස පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහන ඇරඹේ

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන්.

  • මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා.
  • ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි කර දීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා – ජනපති.

මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල් 3000 ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත් එම මුදල මාසයක කාලයක් තුළ ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ පූර්ණ නිවාස හිමිකම ප්‍රදානය කිරීම සිදු කෙරේ. මෙම වසර අවසන් වන විට ප්‍රතිලාභීන් 1070කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ “උරුමය” වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි වන බවයි. ඉඩමක සහ නිවසක අයිතිය හිමිවීම මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවට හැකි තරම් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද අප එක්ව සිටින්නේ කොළඹ මහල් නිවාසවල ජිවත් වන ජනතාවට එම නිවසේ පූර්ණ අයිතිය හිමිවන අවස්ථාවටයි. ඒ වගේම උරුමය වැඩසටහන නගරයට ගෙන එන අවස්ථාව ලෙසද මෙය හැඳින්විය හැකියි. අප උරුමය වැඩසටහන ආරම්භ කළේ මේ රටේ ජනතාව පීඩාවට ලක්ව සිටි කාලයකයි. රජයට හැකි පමණින් අප එම සියලු දෙනාට උදව් උපකාර කළා.

එහිදි අප ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ජනතාවට අයිතිය ලබා දිම වෙනුවෙනුයි. ඉඩමක අයිතිය හෝ නිවසක අයිතිය ඉතා වැදගත් වෙනවා. මෙය ජනතාවගේ බලාපොරොත්තුවක්. එම බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙම වැඩසටහන අපට වසර දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වුණා.

මේ සියල්ල සිදු කිරීමට පෙර රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට සිදු වුණා. ඒ වගේම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිදු වුණා. මීට වසර දෙකකට පෙර රටේ අනාගතය පිළිබඳ සියලුදෙනා බිය වී සිටියා. නමුත් අද අප රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. මෙම ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගත්තේ නැතිනම් අපේ රට තවත් ලෙබනනයක්, කෙන්යාවක් බවට පත් වෙනවා.

අද රට තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වයෙහි වාසිය ජනතාවට ලබාදීමට අප කටයුතු කරනවා. වසර දෙකක් තුළදී මේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අපට හැකි වුණා. මේ රටේ ගොවිතැන් කරන ජනතාවට ඉඩම් අයිතිය ලබාදිය යුතු බව මා කාලයක් තිස්සේ ප්‍රකාශ කළ කරුණක්. එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අණ්ඩුවක් ලෙස අප සියලුදෙනා එක් වුණා.

මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් වූ අවස්ථාවේ නිවසක වටිනාකම මට දැනුනා. එම පිරිස කිසිවෙකුට එම ස්ථානයට ඒමට පවා ඉඩ දුන්නේ නැහැ. ගිනි නිවීමට ගුවන් හමුදාව පැමිණියා නම් වෙඩි තැබීමට සිදු වෙනවා. වෙඩි තිබා මිනිස්සු මරන එකට මම කැමති වුණේ නැහැ. එම නිවසේ තිබු මගේ පොත් පත් ඇතුළු සියල්ල විනාශ වී ගියා.

එම අවස්ථාවේ නිවසක වටිනාකම වඩා තදින් දැනුණ නිසා ජනතාවට නිවාස අයිතිය ලබා දීම වෙනුවෙන් අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා උරුමය වැඩසටහන ගමට සිමා නොකර නගරයට ගෙන ඒමට අපට හැකි වුණා.ගමේ ලක්ෂ 20ක ජනතාවට උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය හිමි වෙනවා. ලක්ෂ දෙක හමාරකට කොළඹ නගරයේ නිවසක උරුමය හිමි වෙනවා. ඔබ මෙම නිවස ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම එය ලස්සනට පිරිසිදුව තබා ගත යුතුයි. ඒ තුළ ඔබේ අනාගතය ගොඩනගා ගත යුතුයි. ඒ නිසා මෙය ඔබේ ජිවිතයට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස මම සලකනවා.

ජනතාවට හැකි තරම් සහන ලබා දීමට අප ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරමින් සිටිනවා. මේ රටේ ජනතාව අත්විඳි දුක අප සියලුදෙනා දන්නවා. එදා මම මේ රට භාර ගත් අවස්ථාවේ රට තුළ වෙනසක් සිදු කළ යුතුයි කියා මම සිතුවා. එම වෙනස කරන්නේ සටන් පාඨ කියමින් හෝ මහ පාරේ කෑ ගසා නොවෙයි. එම වෙනස සිදු කරන්නේ පෙත්සම් අත්සන් කරලා නොවෙයි. අරමුණක් තිබෙනව නම් එම අරමුණ ඔස්සේ වැඩ කළයුතුයි.

අපේ රට අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට හැකි වනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. අප සමෘද්ධි දීමනාව වගේ තුන් ගුණයක ප්‍රතිලාභ අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබා දුන්නා. ඒ වගේම රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස 02ක් ලබාදීමට කටයුතු කළා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා.

ඒ වගේම රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කළා. කෘෂිකර්මාන්තය දියුණු කළා. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කළා. ඒ වගේම මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

පැවති රජයන්ට මෙම කටයුතු සිදු කිරීමට නොහැකි වුණා. නමුත් අපට මෙම වැඩකොටස සිදු කිරීමට හැකිවූයේ කැප වී කටයුතු කළ නිසයි. ඒ නිසා මම මේ සියලු මැති ඇමතිවරුන්ට ස්තූති කළයුතුයි. අප සියලුදෙනා එක්ව මේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.

අප ලබාගත් විදේශීය ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපට ණය ලබා දුන් නිල ණයහිමියන් සමග, චීනය එක්සීම් බැංකුව සමඟ මෙන්ම පුද්ගලික ණය කරුවන් සමඟ අප එකඟතාවට පැමිණ තිබෙනවා. ඒ අනුව අපට ගෙවීමට තිබෙන ණයවලින් රුපියල් බිලයන 08ක් අඩු වී තිබෙනවා. ඒ වගේම 2042 වන තෙක් අපට ණය ගෙවීමට කාලය ලැබී තිබෙනවා. එසේ නම් අප මේ සමඟ ඉදිරියට යා යුතුයි. ආපසු පැරණි තත්ත්වයට යාමට කිසිවෙක් කැමතිවෙයි කියා මම හිතන්නේ නැහැ.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම ගිවිසුම ආරක්ෂා කරගත්තේ නැතිනම් ඉදිරියේදී අපට රටක් ලෙස මීට වඩා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම අපට හැමදාම ණය වෙන්න බැහැ. ඒ නිසා අප මුදල් උපයාගත හැකි අපනයන ආර්ථිකයකට යා යුතුයි. මෙම අරමුණු වෙනුවෙන් අප කැපවිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට ඉඩ දෙන්න එපා. ඔබේ අනාගතය අද පවතින්නේ ඔබේ අතෙයි. ඒ වගේම අපි තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය යුතුයි. එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමට අපි විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

විශ්‍රාම ගිය අයට සහනයක් ලබාදිය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මම මහා භාණ්ඩාගර ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. මේ අයට සහනයක් ලබාදීම වෙනුවෙන් මේ වසර අවසන් වන විට අප මුදල් වෙන් කළ යුතුයි. ඉදිරියේදී පොළිය අඩු මට්ටමක පවත්වාගෙන යාමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර දියුණු කිරීමට නම් බැංකු පොළිය අඩු මට්ටමක පවත්වාගෙන යා යුතුයි. නමුත් පොළිය අඩු වූ විට විශ්‍රාමිකයන්ට එමඟින් අවාසියක් සිදු වෙනවා. ඒ නිසා ඒ සඳහාද වැඩසටහනක් සකස් කරන ලෙස මහා භාණ්ඩාගර ලේකම්වරයාට මා උපදෙස් දුන්නා.
ඔබට වඩා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපට තව දිගු ගමනක් යාමට තිබෙනවා. අනාගත පරපුරට අවශ්‍ය සමාජය අප ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් අපට කළහැකි හොඳම කටයුත්ත ජනතාවට අයිතිය ලබා දීම තුළින් අද අප සිදු කර තිබෙන බව මම විශ්වාස කරනවා.

නාගරික සංවර්ධන හා නිවස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,

2024 අයවැය ඉදිරිපත් කරමින් ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමට ජනාධිපතිතුමා යෝජනා කළ අවස්ථාවේ විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් එම යෝජනාව අවඥාවට ලක් කළා.

නමුත් ජනාධිපතිතුමා එම අවස්ථාවේ සිනාසී උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස අපට උපදෙස් ලබා දුන්නා. අද වන විට උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මහල් නිවාසවල ජීවත්වන ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදිමේ වැඩසටහන අද ආරම්භ කරනවා. පාසලට දරුවෙක් ඇතුළත් කර ගැනීමට, ශල්‍යකර්මයක් සඳහා මුදල් සම්පාදනය කර ගැනීමට බැංකු ණයක් ලබා ගැනීමට මෙම නිවාස වල සින්නක්කර ඔප්පු ලබා ගැනීමෙන් ඔබට හැකිවෙනවා.

මීට වසර දෙකකට පෙර අද වැනි දිනක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකම නිවස අරගලකරුවන් විසින් ගිනිබත් කළා. ඒ අරගලකරුවන් ගිනිබත් කළේ නිවසක් නොවේ ඉතිහාසයක්. එම නිවසේ වටිනා පුස්තකාලයක්, වටිනා පිළිම, වටිනා චිත්‍ර වැනි බොහෝ දේ තිබුණා. එතුමාගේ නිවස අහිමි වී වසර දෙකක් ගත වන මේ මොහොතේ ඔබගේ නිවාස අයිතිය තහවුරු කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

රටේ ඇති වු අර්බුදකාරී තත්ත්වය හමුවේ අපේ නායකයන් ඉවත් වී යනවිට, ව්‍යාපාරිකයන් සහ උගතුන් රට හැර යන විට රට වෙනුවෙන් හා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. නායකයෙකු සැබෑ ලෙස හඳුනාගත හැකි වන්නේ අර්බුදයක් පැමිණි අවස්ථාවකදීයි. රනිල් වික්‍රමසිංහ මහතා අර්බුදය හමුවේ රටේ වගකීම භාරගෙන රට ස්ථාවර කිරීමට කටයුතු කළා වගේම පීඩාවට පත් ජනතාවට අස්වැසුම සහ උරුමය වැනි වැඩසටහන් හරහා සහන ලබාදිමට කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා,

මීට වසර දෙකකට පෙර අද වගේ දිනක ජනාධිපතිතුමාගේ නිවස අරගලකරුවන් විසින් ගිනිබත් කළා. නමුත් අද කොළඹ මහල් නිවාසවල ජිවත්වන ජනතාවට එම නිවාසවල අයිතිය ලබාදීමේ වැඩසටහන ජනාධිපතිතුමා ආරම්භ කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය අනුව උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු සහ නිවාස ඔප්පු ලබා දීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එමඟින් කොළඹ මහල් නිවාස වල ජීවත්වන ජනතාවට සින්නක්කර නිවාස අයිතිය ලැබෙනවා. 2015-2019 කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස නිවාස අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාමට අප කටයුතු කර තිබෙනවා. එහි එක් ප්‍රතිඵලයක් ලෙස අද මහල් නිවාසවල සින්නක්කර අයිතිය ජනතාවට හිමි වෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේ සිට ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීම පිළිබඳ එකම ස්ථාවරයක කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ විධායක බලතල ලැබුණු පළමු අවස්ථාවේදීම ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම කඩිනම් කිරීමට කටයුතු කළා. ඊට අදාළ නීති සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කිරීමට උපදෙස් ලබා දුන්නා. එම නිසා අද වන විට ජනතාවට ඉඩම් අයිතියත්, නිවාස අයිතියත් ලබා දීමේ වැඩසටහන් දෙකම සාර්ථකව ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් මෙහිදී කැපවීමෙන් කටයුතු කරනවා. ඔවුන් සියලුදෙනාට ස්තුතිය හිමි විය යුතුයි.

මීට වසර දෙකකට පෙර රට තුළ පැවති ආර්ථික අර්බුදය නිසා ජනතාව විශාල ලෙස පීඩාවට පත්වුණා. එවැනි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ නීතිය හා සාමය ආරක්ෂා කර ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළා. වසර දෙකක කාලයක් ඇතුළත රටේ ආර්ථිකය ස්ථාවර කරමින් ජනතාවට අයිතිය ලබාදීම වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු , නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් .එස්. සත්‍යානන්ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරු ඇතුළු නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.