මට කළ හැකි හැමදෙයක්ම කළා මේ ගමන ඉදිරියට යනවාද නැද්ද තීරණය කළ යුත්තේ ජනතාවයි – ජනාධිපති ගාල්ලේදී කියයි

කවුරුත් රට භාර නොගෙන මඟහැර යද්දී ඒ අභියෝගය භාර ගත්තේ රනිල් විතරයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

අත්දැකීමක් හෝ මතයක් නැතිව ආණ්ඩු කරන්න බැහැ – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ්

 
රට වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම තමා විසින් ඉටුකර තිබෙන අතර ඒ ගමන ඉදිරියට යනවාද? නැද්ද? යන කාරණය තීරණය කළ යුත්තේ ජනතාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය. මැතිවරණ කොමිසම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් දිනයක් ජනපතිවරණයට නම් කළ විට රටේ අනාගතය ආරක්ෂා කරනවාද? නැද්ද? යන කාරණය තීරණය කරන්න ජනතාවට අවස්ථාව ලැබෙන බව ද ජනාධිපතිවරයා කීය.

එජාපයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ සංවිධායකත්වයෙන් ගාල්ල උළුවිටෙකේදී මේ සම්මේලනය පසුගියදා පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

Òරටේ අනාගතය තිබෙන්නේ මගේ අතේ බව ඉෂාක් මොහිදීන් බෙග් මහතා මෙහෙ කියූ ගීතයේදී පැවසුවා. ඇත්තටම අනාගතය තිබෙන්නේ මගේ අතේ නොවෙයි ජනතාවගේ අතේ. මට කළ හැකි වූ හැමදෙයක්ම මම දැන් කර තිබෙනවා. මගේ ගෙදරත් ගිනි ගත්තා. ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ වන විට රට යම් තත්ත්වයකට පැමිණ තිබෙනවා.

මේ ගමන ඉදිරියට ගෙන යනවාද? නැද්ද? යන කාරණය තීරණය කළ යුත්තේ ජනතාවයි. මැතිවරණ කොමිසම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් දිනයක ජනපතිවරණයට දින නම් කළ විට ජනතාව රටේ අනාගතය ආරක්ෂා කරනවාද? නැද්ද? යන කාරණය තීරණය කළ යුතුයි.

මම භාරගත්තේ තෙල් නැති රටක්. විදුලි බලය නැති, පෝර නැති රටක්. ආර්ථිකයක් නැති රටක්. කවුරුත් එය භාර ගන්න හිටියේ නැහැ. නමුත් මම එය භාරගත්තා. එජාපය හැමවිටම රට වෙනුවෙන් ඉදිරියෙන් සිටියා. වෙන අය පසුපසට යනවා නම් එජාපය ලෙස අපට රට භාරගන්න වෙනවා. එජාපය හැමවිටම සිටින්නේ ඒ දර්ශනයේ.

ඩී.එස්. සේනානායක යුගයේ සිට ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, මෙන්ම විජයතුංග නායකයන් ඒ කාර්යය කළා.

2021 වසරේ ආර්ථිකය ඍණ තත්ත්වයේ තිබියදී ආර්ථිකය භාරගෙන ආර්ථිකය හැදුවා. ඒ වරාය ගුවන්තොටුපොළ වහපු කාලේ මම රට භාරගෙන හදලා දුන්නා. නමුත් කොටි සංවිධානය ඒ ගමන කඩා දැම්මා.

2015දීත් එලෙස ආර්ථිකය හැදුවා. 2019 දී මා භාර දෙන විට ප්‍රාථමික අය වැයේ අතිරික්තයක් තිබුණා. එමෙන්ම විදේශ විනිමය බිලියන හතක් තිබුණා. ඊළඟ මැතිවරණය අප සටන් කළ යුත්තේ ආර්ථිකය ගොඩනැඟීමට බව මම එදා කිව්වා. නමුත් එදා බොහෝ පක්ෂ පොරොන්දු දේශපාලනයේ නිරත වුණා.

ඩොලර් බිලියන තුනක් සොයා ගැනීම අපගේ එකම කාර්යභාරය විය යුතු බව මා ඉහත මැතිවරණයට පෙරත් පැවසුවා. අප එදා මැතිවරණ ප්‍රකාශනයටත් ඒ කාරණය ඇතුළත් කළා. එම ඩොලර් බිලියන තුන තිබුණා නම් මූල්‍ය අරමුදලට ගියා නම් මම අද මෙතැන නෑ.

එදා අපේ කණ්ඩායමක් එකතු වී නැවත පොරොන්දු දෙන්න දේශපාලන කණ්ඩායමක් හැදුවා. ඒ අයගේ සටන් පාඨය වූයේ අප සිරිකොත අල්ල ගන්නවා යනුවෙනි. රටේ ප්‍රශ්නය වුණේ සිරිකොත අල්ලගන්නවාද? නැද්ද? යන්න නොවේ.

රටේ අර්බුදය ගැන කතා කරන්න ගෝඨාභය රාජපක්ෂ එදා ආරාධනා කළ විට ගියේ මමත් දෙමළ පක්ෂත් පමණයි. මේ ගමන අප්‍රේල් මාසයේ කැඩෙන බව අප දැනගෙන සිටියා. විපක්ෂ නායක වගකීම භාර නොගෙන පැන ගියා. තමන්ට ඡන්දය දුන් අයත් පාවලා දුන්නා.

ජනතා විමුක්ති පෙරමුණත් හොයා ගන්නවත් හිටියේ නැහැ. පැනලා ගියාද? බඩ ගියාද? කියා මා දන්නේ නැහැ. මම රට භාරගෙන මූල්‍ය අරමුදල මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කළා. ගෝඨාභය රාජපක්ෂ ඒ වන විට ඉන්දියාව සමඟ සාකච්ඡා කර මිලියන තුනහමාරක් අරගෙන තිබුණා.

අන්තිමට අපේ කෘෂි නිෂ්පාදන සඳහා පෝර තිබුණේ නැහැ. මා අමෙරිකාවේ සමන්තා පවර්ට මේ බව කියූ විට ඇය පෝර ටික එව්වා.

2022 – 23 වසරවල යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දී යළි කෘෂිකර්මය ගොඩනැංවීම ආරම්භ කළේ එතැනින්. ඊළඟ වාරයේ මහ කන්නයත් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණා. මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මේ කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව ලැබුණා.

මා භාර ගත්තේ බංකොලොත් ආණ්ඩුවක්. මාස දෙකක් සඳහා අඩු ආදායම්ලාභීන්ට හාල් කිලෝ දහය බැගින් දුන්නා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් අමාරුවෙන් හෝ ලබා දුන්නා. බංකොලොත් නැති ආණ්ඩු මෙවැනි දේ කළා ද? මෙවැනි තීරණ අප ගත්තේ බංකොලොත් රටකයි. සමෘද්ධි වෙනුවට අස්වැසුමෙන් ඒ වගේ තුන් ගුණයක් දුන්නා. අප මෙවැනි දේ කළේ මුදල් හරියට පාලනය කිරීමෙන්. ටිකෙන් ටික සංචාරක ව්‍යාපාරය ගොඩනඟන්න අප කටයුතු කළා.

එමෙන්ම අපට ණය දෙන රටවල් සමඟ අප සාකච්ඡා කළා. චීනය ඇතුළු ණය දෙන රටවල් සමඟ කතා කිරීමෙන් අපට ඩොලර් බිලියන පහක් ඉතුරු වී තිබෙනවා. බැඳුම්කර හිමිකරුවන් සමඟ කතාකර තවත් බිලියන තුනක් ඉතිරි කරගත්තා. මේ අනුව ඩොලර් බිලියන 8ක් වසර හතරක් ගෙවන්නේ නැහැ.

ඔබ ණය වී මෙවැනි සහනයක් ලැබුණා නම් එය කොතරම් හොඳ ඩීල් එකක් දැයි තේරේවි. මා ව්‍යාපාරිකයන්ගෙන් ඒ ගැන අහන්න කැමතියි. ණය ගෙවන්නට 2043 දක්වා කාලය ලැබී තිබෙනවා.

මේ ණය ගෙවෙන විට භාණ්ඩ ගැනීමට තවත් ණය ගන්න සිදු වෙනවා. අපට විදේශ විනිමය නැති නිසා ණය ගැනීමට සිදු වෙනවා.

මේ තත්ත්වය කළමනාකරණය කරගත්තේ නැත්නම් තව වසර 15ක් යන විට මීට වඩා දරුණු තත්ත්වයකට රට පත් වෙනවා. ආර්ථික පරිවර්තන නීතියක් ගෙනැවිත් පාර්ලිමේන්තුවේ එය සම්මත කරගන්නේ මේ තත්ත්වය මඟහැර ගැනීමටයි. ඒ කාර්යභාරය අප ඉදිරියට ගෙන යනවාද? අප එය ඉදිරියට ගෙන යා යුතුයි. වෙන මාර්ගයක් නැහැ.

ජේ.ආර්. ජයවර්ධන 77 වසරේදී ආර්ථිකය විවෘත කර ඉදිරියට ගෙන ගියාට වඩා වේගයකින් දැන් රට ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා.

ගාල්ල දෙස බලන්න. මහමෝදර හෙද විදුහල, සී.ටී.බී. ඩිපෝව, බන්ධනාගාර ඉඩම, පොලිසිය, තැපැල් කාර්යාලය ආදී ඉඩම්වල සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කොතරම් හෝටල් ඉදි කළ හැකිද? ඕනෑ තරම් සංචාරකයන් ඒවි. දේදුවේ අක්කර දහසක් තිබෙනවා.

කර්මාන්ත ඇති කරමින් අප වේගයෙන් ඉදිරියට ගෙන යා යුතුයි. තරගකාරි කෘෂිකර්මය යටතේ ආහාර පිටරටට අපනයනය කිරීම සිදු වෙනවා. ගම්වල ජනතාව ඊට හුරු කළ යුතුයි.

2050 වන විට ලෝක ජනගහනය බිලියන 2කින් වැඩි වෙනවා. ඒ අයට ආහාර අවශ්‍යයි. මහවැලිය ව්‍යාපාරය අවසන් කිරීමට, ත්‍රිකුණාමලය වරාය ගොඩනැඟීමට අප කටයුතු කරනවා.

පක්ෂ විදිහට බෙදී ගහගන්නා විට රටේ ආර්ථිකය නැති වෙනවා. එක් කෙනෙක්වත් ඇත්ත කියන්න සූදානම් වන්නේ නෑ. ඇත්ත කියන විට ඡන්ද දායකයා ඒ ඇත්ත බව පිළිගන්න සූදානම් වුණෙත් නැහැ. කැඩුණු ආර්ථිකය මෙන්ම දේශපාලන ක්‍රමයත් හැදිය යුතුයි.

රට හදන්න සජබෙන් සහාය ඉල්ලුවා. ඔවුන් දුන්න සහාය කුමක්ද? හරීනුයි මනූෂයි විතරක් ආවා. පොහොට්ටුවේ කට්ටියක් අනිත් පැත්තට ගියා. රටේ ආර්ථිකය බේරගන්න බව කියපු ගොඩහේවලා දැන් සජබෙ ඉන්නවා.

එදා මං වෙනුවට වජිර පාර්ලිමේන්තුවට ගියා. ඔහුට ඇමැතිකමක්වත් දුන්නේ නැහැ. ඇමැතිකමක්වත් නැතිව රට වෙනුවෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. අප දේශපාලනය ගැන හිතන්නේ නැතිව වැඩ කරමු. පටු දේශපාලනය ගැන හිතන්නේ නැතිව වැඩ කිරීම නිසා අවසානයේ රට ගෙනයන්න හොඳ කණ්ඩායමක් නිර්මාණය වුණා.

අප මේ පටු දේශපාලනයෙන් ඉවත් වෙමු.රටේ තවත් සියයට 25ක් අමාරුවෙන් ජීවත් වෙනවා. ඔවුන් කන කර උකස් තබලා. රුපියල කඩා වැටුණු විට බඩු මිල අඩු කරන්න බෑ. නමුත් ආදායම වැඩි කළ හැකියි. මගේ මූලික අරමුණ තරුණයන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරදීමයි.

ආර්ථිකය පරිවර්තනය කරනවා සේ දේශපාලනයත් පරිවර්තනය කරමු. නැත්නම් මේ රට ඉදිරියට යන්න බැහැ. මේ රටේ දේශපාලනය වෙනස් කළේ එජාපයේ අප තමයි. 1948 රටට නිදහස ලබා දුන්නා. 1977 නව රටක් හදලා දුන්නා.අප එකතු වී නව දේශපාලනය ඇති කරමු.

මේ රටේ දේශපාලන පක්ෂ සියල්ල පටන් ගත්තේ එජාපයෙන්. මේ රටේ අමාරුවෙන් ඉන්න ජනතාව ගොඩගන්න මෙන්ම තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් දී ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් ඇති කරමු.

එජාප නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන – රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවා ද නැද්ද කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා. අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා. මෙලෙස ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරනවා.

මේ රටට නායකත්වය දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ බව රටේ බහුතර ජනතාව පවසනවා. දැනුමක් මෙන්ම හරි නායකත්වයක් තිබෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි. පසුගිය කාලයේ විවිධ නායකයන් පැමිණියා.රට බංකොලොත් කර යන්න ගියා. වසර දෙකකට පෙර අප ජීවත්වුණු ආකාරය ගැන ජනතාවට අමතක නැහැ. මූලික අවශ්‍යතා ඉටුකර ගන්න පවා ජනතාවට පෝලිම්වල ඉන්න සිදු වුණා. දැන් කෑගහන ඇතැම් නායකයන් එදා අභියෝගවලින් පැන ගියා. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වී ඒ අභියෝගවලට පිළිතුරු සෙව්වේ නැත්නම් අදත් රට අඳුරේ.

ගේ ගිනි තැබූ විට රනිල් වික්‍රමසිංහ නායකයාට ඉතිරි වී තිබුණේ කලිසම් දෙකක් සහ ෂර්ට් තුනක් පමණයි.ඒ සියලු කැපකිරීම් කරමින් ඔහු රට වෙනුවෙන් පෙනී සිටියා. අපේ නායකයා රට භාර ගන්නා විට ඩොලර් මිලියන දහයක්වත් තිබුණේ නැහැ.

අද වන විට ඩොලර් බිලියන පහකටත් වැඩි සංචිතයක් භාණ්ඩාගාරයේ රැස් කර තබන්න හැකි වී තිබෙනවා.බංකොලොත් වී තිබූ රට වසර දෙකක් ඇතුළත පරිවර්තනයට ලක් කරන්න එතුමාට හැකි වුණා. අපි ආවොත් මීට වඩා හොඳට රට කරන බව විපක්ෂයේ අය අද පුරසාරම් කියනවා. ඔවුන්ට තිබෙන්නේ වචන පමණයි. වැඩපිළිවෙළක් නැහැ. රනිල් වික්‍රමසිංහ නමැති නායකයාට තද තීන්දු ගැනීමට හැකියාව ඇත්තේ දැනුම සහ පළපුරුද්ද නිසයි.

ජනපතිවරණයෙන් අපට ජය ගත හැකියි. ජනපතිවරණයෙන් පසුව අපට එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. ඒ නිසා දැන් සිටම අපේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරමු. සියලු දෙනාම අත්වැල් බැඳගනිමින් ඒ ගමන යමු.

එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන – රටට ජාතියට නායකත්වයක් දුන් ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා.දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව හිඟමනට පත්ව සිටි මොහොතක රට භාරගෙන ඔවුන් හිඟමනින් මුදාගත් නායකයා අද මෙහි පැමිණ සිටිනවා. සියලු දෙනාම මඟහැර යන විට රනිල් රට භාර ගත්තා. හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මෙවැනි පින්කමක් කර තිබේයැයි මා සිතන්නේ නැහැ.

යන පාර වෙනස් කළොත් අමාරුවේ වැටෙන බව ජනාධිපති 2020 වසරේදී පැවසුවා. නමුත් ජනතාව ඒ පාර වෙනස් කළා. අප පරාජයට පත්වුණා.

පසුව එක ආසනයකින් ජනාධිපති ධුරයට පත් වී එජාපය ලෝක දේශපාලන වාර්තාවක් තබා තිබෙනවා. අප කිසිවිටෙක බෙදෙන්න හොඳ නැහැ. පොදුජන පෙරමුණේ සිටින සියලුම මහජන නියෝජිතයන් අපට අවශ්‍යයි. ශ්‍රී ලංකාව ගොඩනඟන්නට හැකිවන්නේත් ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟන්න හැකි වන්නේත් සියලුම පක්ෂ එකතු වුවහොත් පමණයි.

ජනපති රට භාරගත් සැණින් සියලුම දුප්පත් ජනතාවගේ ගිණුමට රුපියල් පහළොස් දහස බැගින් බැර කිරීමට සමත් වුණා. එමෙන්ම සහල් කිලෝ දහය බැගින් සෑම පවුලකටම දෙන්න හැකියාව ලැබුණා.

නිදහසින් පසුව සියලුම නායකයන් කළ වැරදි රනිල් වික්‍රමසිංහ විසින් නිහඬව භාරගෙන නිවැරදි කරමින් සිටිනවා. ලබන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ඓතිහාසික ජයක් ලබා දිය යුතුව තිබෙනවා.

2024 වසරේදී ආසියාවේ බලවත් රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ඓතිහාසික තීන්දුවක් ගත යුතුව තිබෙනවා. අපට නැවත වැරදි කර ඒවා හදාගන්න කාලයක් නැහැ. රට ගොඩගන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි.අපට ගැළපෙන නොගැළපෙන සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන මේ ගමන යන්න තීරණය කර තිබෙන්නේ ඒ නිසයි. ලබන ජනපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඓතිහාසික ජයක් ලබා දිය යුතුයි.

එජාප උපනායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් – රනිල් වික්‍රමසිංහ මතය අද රටේ ජයග්‍රහණය කර තිබෙනවා.රට මෙතරම් අභාග්‍යසම්පන්න ඉරණමකට ලක් වූයේ මතයක් නැති දේශපාලනය නිසයි. අපේ නායකයාට දර්ශනයක් තිබූ නිසා නැවත රට ගොඩනැඟීමට හැකියාව ලැබුණා.එතුමා විසින් අද මුළු රටම ගොඩනඟා තිබෙනවා.

අප හමුවේ රටේ ආර්ථිකය නිදහස් කර ගැනීමේ අරගලයක් තිබෙනවා. ඒ අරගලය ජය ගැනීමට නම් පක්ෂ පාට භේදවලින් තොරව රනිල් වික්‍රමසිංහ වටා සියලුම ජනතාව පෙළගැසිය යුතුව තිබෙනවා යැයිද පැවසීය.

චමීර ඇල්ලදෙණිය