ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති 25ක් සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති විසි පහක් සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 02) ප්‍රකාශ කළේය. එක් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් පමණක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බව ද කථානායකවරයා පැවසීය. කථානායකවරයා මේ බව සඳහන් කළේ එම පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි.