තුල්හිරිය අධිකරණ භූමියේ දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගිය රැඳවියන් දෙදෙනකු යතුරුපැදියක් සොරාගෙන අත් මාංචුපිටින්ම කිලෝමීටර් 65ක් දුරක් පදවාගෙන පැමිණ මොරගහහේන ඔලබොඩුව නිවසක වෙස්වලාගෙන සැඟව සිටියදී එක් රැඳවියකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපොල ඔලබොඩුව හන්දිය ජාතික තරුණ සේවා මාවතේ පදිංචි රොෂාන් අසංක නොහොත් සුද්දා නමැති 29 හැවිරිදි රැඳවියාය.
මොරගහහේන පොලිසියට අනුයුක්ත පානදුර කොට්ඨාස බුද්ධි ඒකකයේ පොලිස් කොස්තාපල් (91214) වන්නිනායක මහතාට ලද තොරතුරකට අනුව සැකකාර රැඳවියා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රැඳවියා සමඟ පලා ආ අනෙක් රැඳවියා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පෙරේදා (30) අත්අඩංගුවට ගෙන තිබිණි.
වරකාපොල පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් වරකපොල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන වරකාපොල තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා බන්ධනාගාර ගතකර තිබිණි.
ඉකුත් 28දා රැඳවියන් දෙදෙනා වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට යළි ඉදිරිපත් කිරීම සඳහා කුරුවිට බන්ධනාගාරයේ සිට එහි නිලධාරීන් බන්ධනාගාරයට අයත් බස් රථයකින් රැගෙන විත් අධිකරණ සිරමැදිරිය කරා රැගෙන යන අවස්ථාවේදී රැඳවියන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබිණි.
රැඳවියන් දෙදෙනාගේ පලායාම සම්බන්ධයෙන් අධිකරණ පොලිස් මුරපොළ මගින් වරකාපොල පොලිසියට දැනුම්දීමත් සමඟම රැඳවියන් දෙදෙනා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළද සොයා ගැනීමට නොහැකි විය.
අත්අඩංගුවට ගත් රැඳවියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වරකාපොල තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පලායාමෙන් අනතුරුව අනෙක් රැඳවියා සමඟ අත්මාංචුපිටින්ම ඒ ආසන්නයේ ගඟකට බැස කිලෝමීටර් 6ක් පමණ පාගමනින් ගොස් කැලයකට වැදී දින දෙකක් පුරා කැලේට වී නිරහාරව සැඟවී සිටි බවත්ය.
එම ගඟෙහි වතුර ගෙල ආසන්නයට තෙක් තිබූ බව රඳවියාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. කැලේ සැඟව සිටින අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඒ මේ අත යන හඬ ඇසුණු බවත් විදුලි පන්දම් එළිද දෙදෙනාගේ මූණට එල්ල වූ බවත් රැඳවියා පොලිසිය හමුවේ සිදුකළ ප්‍රකාශයකින් අනාවරණය වී ඇත.
අනතුරුව ඊයේ 30 වැනිදා අලුයම දෙදෙනාම කැලයෙන් පිටතට පැමිණ යතුරුපැදියක් සොරකම් කිරීම සඳහා ඇවිදගෙන යාමේදී නිවසක් ඉදිරිපිට යතුරුපැදියක් නවතා තිබූ බවත් එම යතුරුපැදිය සොරාගෙන මද දුරක් තල්ලු කරගෙන ගොස් පණ ගන්වාගෙන පැමිණෙමින් සිටිය දී එහි ඇක්සලේටරේ කේබලය කැඩුණු බවත් පිටුපස සිටි මිතුරා දකුණත ඇක්සලේටරේ කේබලය අල්ලාගෙන සිටියදී දෙදෙනාම අත්මාංචු පිටින්ම මොරගහහේන ඔලබොඩුව නිවස කරා පැමිණ එහි දී අත්මාංචුවක් ආයකටුවකින් විවෘත කළ බවත් අනෙක් අත්මාංචුව කැපූ බවත් හෙලි වී ඇත. එලෙස යතුරුපැදියෙන් පැමිණෙන අවස්ථාවේදී ඉන්ධනද කිසිදු අඩුවක් නොමැතිව තිබීම හේතුවෙන් බාධාවක් නොමැතිව නිවසට පැමිණීමට හැකිවූ බව රැඳවියාගෙන් අනාවරණය වී ඇත. අනතුරුව තම අනෙක් මිතුරා වූ රැඳවියා ඔහුගේ නිවස වන හොරණ මුණගම දවුලගලවත්ත නිවස කරා ගිය බවත් රැඳවියාගෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත.
රැඳවියා අත්අඩංගුවට ගන්නා විට කොණ්ඩය සහ මුහුණ පුරා වවා තිබූ රැවුල සම්පූර්ණයෙන්ම කපා වෙස් වලාගෙන සිටි බව පොලිසිය සඳහන් කරයි.
අත් අඩංගුවට ගත් රැඳවියා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක අප්සරා අබේසේකර මහත්මිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාර දී ඇත.
මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන 13428 සම්පත් 66337 ඉන්ද්‍රජිත් පොලිස් කොස්තාපල් වරුන් වන 91214 වන්නි නායක 31292 ජීවන්ත 80503 ජානක මහත්වරු සැකකරු අත්අඩංගුවට ගත්හ.