සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට දී නාඳුනන පුද්ගලයකු විසින් එල්ල කරනු ලැබූ ඊතල ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ පසුව එම පොලිස් නිලධාරියා විසින්ම තැබූ වෙඩි පහරකින් ඊතල ප්‍රහාරකයා මිය ගිය බවය.
ඊතලය එල්ල වී ඇත්තේ මිලොස් ජෙව්රෙමොවික් නමැති එම පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට වන අතර, මේ වන විට ඔහුට සැත්කමක් සිදු කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම ඊතල ප්‍රහාරය සිදු කළ පුද්ගලයා සර්බියානු ජාතිකයකු බවත්, ඔහු ඉස්ලාම් දහමට නැඹුරු වූ පුද්ගලයකු බවත් හෙළි වී ඇති අතර, එය ත්‍රස්ත ප්‍රහාරයක් බවට නිරීක්ෂණය වී ඇතැයි ද වාර්තා වේ.
ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට ඇති ගොඩනැඟිල්ලක් අසල ගැවසී ඇති එම පුද්ගලයා පසුව බෑගයකින් දුන්නක් පිටතට ගෙන එම ඊතල පහර පොලිස් නිලධාරියා ඉලක්ක කරමින් එල්ල කර ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. එය සිදුවන අවස්ථාවේදී ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දමා තිබූ බව ද වාර්තා වේ.