කඳ සුරිඳු පිදුමට පළමු වරට වතුකරයෙන් පාගමන් අරඹයි.

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මංගල්‍යයට සහභාගි වීම සඳහා වතුකරයෙන් පාගමනින් ගමන් කරන පළමු කණ්ඩායම ඉකුත් 26 වැනිදා පස්වරුවේ නල්ලතන්නිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළේය.

හතළිස් දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට කාන්තාවෝ 10 දෙනෙකු සිටින අතර, පළමු කණ්ඩායම 16 වන වරටත් රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට සහභාගි වීමට ගමන් කරනු ලබති.

නල්ලතන්නිය, හැටන්, නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, තණමල්විල හා තිස්සමහාරාම හරහා කිලෝමීටර් 275ක් පාගමනින් ගොස් ලබන මස 06 වැනිදා කතරගම ඇසළ මංගල්‍යයට එකතු වන බවයි එම කණ්ඩායමේ බැතිමතෙකු පවසා සිටියේ.

දිනකට කිලෝමීටර් 40 – 50 අතර දුරක් පාගමනින් යන බවත්, පාගමනින් යන මාර්ගවල පිහිටි ආගමික ස්ථානවල සහ විශ්‍රාම ශාලාවල රාත්‍රී කාලයේ නවාතැන් ගන්නා බවත්, පාගමනින් ගමන් කරන තම පිරිසට අවශ්‍ය ආහාර පාන මාර්ගය දෙපස සිටින පිරිස් විසින් ලබා දෙන බවයි පාගමනේ නිරත වන බැතුමතුන් පවසා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ