ජනපති පාලනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අවශ්‍යතාවක් නැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් අත්හිටුවීමට හෝ ජනාධිපතිවරයා පාලනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා සහ දිලීස් නවාස් යන මහත්වරු ඊයේ (27) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළහ.

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති සෙසු විනිසුරු ධුර සඳහා පත්කිරීම් සිදු කිරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කොට තිබූ පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කරන ලදි.

එස්. තුරෙයිරාජා, දිලීස් නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී විනිසුරු මඬුල්ල සඳහන් කළේ අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ඉදිරිපත් වූ කරුණු අනුව බවය.

අදාළ නියෝගය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට තමන් විරුද්ධ නොවන බව පෙත්සමෙහි පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය කියා සිටියේ මෙම පෙත්ම ඉතා කඩිනමින් විභාගයට ගෙන අවසන් තීරණයක් ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බවය.

ඒ අනුව මෙම පෙත්සම් ජූලි මස 25 වැනිදා සලකා බැලීමට දින නියම කළේය. පෙත්සම් සම්බන්ධයෙන් වන විරෝධතා, ප්‍රතිවිරෝධතා සහ ලිඛිත දේශන ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුව ගොනු කරන ලෙස ද පාර්ශ්වයන්ට නියම කරන ලදි. දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා විසින් නීතිඥ එස්. සම්පත් විජේවර්ධන මහතා මඟින් මෙම පෙත්සම ගොනුකර ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කළ නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නීතිඥවරයෙකු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.

එම පෙත්සම සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව එය විභාග කිරීමට ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන් අතර අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශය කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර ඇති බව පෙත්සම්වල සඳහන් වේ.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විධායකයේ බලතලවලට මැදිහත්වී තිබෙන බවට පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරු කිහිප දෙනකුම ප්‍රකාශයන් කළ බව පෙත්සම්වල දැක්වේ. එවැනි ප්‍රකාශ මඟින් ඉහළ සහ පහළ අධිකරණවල විනිසුරුවරුන් විවේචනයට ලක් කර ඇති බවද පෙත්සම් මඟින් පෙන්වාදී ඇත. එමඟින් අධිකරණයට පවතින ගෞරවය හෑල්ලු වන අතර අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බව ද පෙත්සම් මඟින් පෙන්වාදී ඇත.

ඒ අනුව අදාළ නියෝගය ඉවත් කර ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමට තමන්ට මෙම පෙත්සම් විභාගයට මැදිහත්වීමට අවසර දෙන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය න් සහ ඩිලාන් පිලිප් යන මහත්තුරු පෙනී සිටියහ. ව්‍යස්ථාදායක සභාව වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන එම්.ඒ. සුමන්තිරන් සහ කේ. කනග්ඊශ්වරන් යන මහත්වරු පෙනී සිටියහ.

නෙල්කා මැදගෙදර