බොලීවියාවේ හමුදා කුමන්ත්‍රණය අවසන්, හමුදාපති තනතුරෙන් පහ කරයි.

බොලීවියාවේ ලා පාස් අගනුවර ජනාධිපති මන්දිරයට කඩා වදිමින් එරට හමුදාව රාජ්‍ය බලය අත්කර ගැනීමට සිදු කළ කුමන්ත්‍රණය අවසන් මොහොතේ වළක්වා ගැනීමට එරට ජනාධිපති ලුයිස් ආර්ස් සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බොලීවියාවේ හමුදාපති ජෙනරාල් ජුවාන් ජොස් අගනුවර බලය අත්කර ගැනීමෙන් පසු යුද හමුදාව ජනාධිපති මන්දිරය වට කර ඇති අතර, යුද ටැංකි යොදා ප්‍රධාන දොරටුව කඩා දැමීමෙන් පසු ඊට ඇතුළු වී ජනාධිපතිවරයා හමුදාව බාරයට ගැනීමට සූදානම් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

හමුදාපතිවරයා එරට ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වන අතර, ජනාධිපති මන්දිරයේ දොරටුව අබියස දී ඔහු මුහුණට මුහුණ හමුවූ ජනාධිපති ලුයිස් ආර්ස් යටත් වන ලෙසත්, හමුදාව ඉවත් කරගන්නා ලෙසත් ඔහුට නියෝග කළ බව වාර්තා වේ. බොලීවියාවේ බහුතර ජනතාවගේ දැඩි පැසසුමට ලක්වී සිටින බව කියන ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට දහස් සංඛ්‍යාත ජනතාව ද ජනාධිපති මන්දිරය අසලට රැස්වී ඇති අතර, හමුදා කුමන්ත්‍රණය ව්‍යර්ථ වීමෙන් පසු ඔවුන් සතුට සැමරූ බව ද වාර්තා වේ.

රජය වෙනස් විය යුතු බවත්, බොලීවියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිසංස්කරණය විය යුතු බවත් කියමින් එම හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූ හමුදාපතිවරයා ජනාධිපතිවරයාගේ නියෝගයට අවනත වෙමින් සිය හමුදාව ඉවත් කරගෙන ඇතැයි ද, පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු හමුදාපති තනතුරෙන් පහ කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර, අමාත්‍ය මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් ද සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඔහු සමඟ බොලීවියානු හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු ද අත්අඩංගුවට පත්වී ඇතැයි වාර්තා වේ.