පොඩ්ඩක් වැරදුණා තමයි ඒත් බය නැතිව අපිටම දෙන්න: නාමල් ජනතාවගෙන් ඉල්ලයි

මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ හේතුවෙන් මෙරට ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ සමග ගොඩනැඟුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මැදවච්චිය ආසන සමුළුව අමතමින් ඔහු මේ බව පැවසුවා.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේදී යම් යම් වැරදි සිදුවන්නට ඇති නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය බවත්

එය තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවයි නාමල් රාජපක්ෂ පවසන්නේ.

කෙසේ නමුත් එම ප්‍රතිපත්ති නවීකරණය කරමින් තාක්ෂණයට අනුබද්ධ විය යුතු බවත් ඔහු පවසනවා.

එමෙන්ම රටේ ඊලඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් මෙරට දරුවන්ගේ හෙට දවසේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බාරගන්නා බව තමන් වගකීමෙන් පවසන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ.