ඉන්දීය අනවසර යාත්‍රාව අල්ලන කලහයෙදී යාත්‍රා දෙක අතර සිරවී මියගිය අපේ නාවිකයා

මෙරට මුහුදු සීමාවෙහි අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ සිද්ධියක් නිසා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ නිලධාරියෙක් මියගොස් තිබේ. ඊයේ (25දා) අලුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත. මෙහිදී, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයන් දසදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මූලස්ථානය සදහන් කරයි.

මෙම යාත්‍රාවේ සිටි පිරිස් නාවික හමුදා අත්අඩංගුවට පත්වීමට යාමේදී ඔවුන් අනතුරුදායක හා කලහකාරි ලෙස ඉන්දීය ධීවර යාත්‍රාව හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ නාවිකයෙකු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර එහිදී නාවිකයා ජීවිතක්ෂයට පත් ව තිබේ.
ඉන්දීය ධීවර යාත්‍රාව කොටුකර ගත් පසු රත්නායක නමැති මෙම නාවික හමුදා ප්‍රධාන සුළු නිළධාරි (Chief Petty Officer – ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරියෙක්) එම ඉන්දීය ධීවර යාත්‍රාවට පැනීමට ගිය අවස්ථාවේ යාත්‍රා දෙක අතර සිරවී බරපතළ තුවාල ලබා ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. සෙසු නාවික හමුදා නිලධාරීන් සහ සෙබළුන් වහා ක්‍රියාත්මක වී සිරවී සිටි මෙම නිලධාරියා ඉන් මුදා ගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා මෙම නිලධාරියා මියගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි නාවික හමුදාවේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.
එහිදී, නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ බඳ කොටසටද සැලකිය යුතු හානියක් සිදුවී තිබුණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත් වීම සඳහා නිරන්තර මෙහෙයුම් සිදු කරන අතර මෙම සංසිද්ධිය සිදුවිය.

පීනන්න වගේම කිමිදෙන්නත් අති දක්‍ෂයෙක් වෙච්ච අපේ “බිංටුට” සිද්ධ වුණු දේ අපි හැමෝටම තාම හීනයක් වගේ යැයි මුහුදේ සිදුකළ නාවික හමුදා මෙහෙයුම අතරතුර හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත් නාවික හමුදා බෝට්ටු ආරක්‍ෂක විශේෂ බළකායේ සේවය කළ ප්‍රියන්ත රත්නායක නාවික භටයාගේ හදිසි මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහුගේ ඥාතීහු පවසති.

මෙලෙස මියගොස් ඇත්තේ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ බෝට්ටු ආරක්‍ෂක විශේෂ බලකායේ සේවය කළ ප්‍රියන්ත රත්නායක නමැති නාවික හමුදා ප්‍රධාන සුළු නිළධාරි (Chief Petty Officer – ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරි) නිලධාරියෙකි. ඉබ්බාගමුව හිපව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියන්ත රත්නායක මහතා 41 ක් හැවිරිදි දෙදරු පියෙකි.ඔහු කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටිය දී ඊයේ (25) අලුයම ජීවිතක්‍ෂයට පත්විය.

ප්‍රියන්ත රත්නායක මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහුගේ සමීපතම ඥාතියෙක් වන ලින්ටන් වික්‍රමරත්න මහතා මෙසේ සඳහන් කළේය.ඇත්තටම අපිට තාම මේක හීනයක් වගේ. මියගිය ප්‍රියන්ත පුතාට ගමේ හැමෝම ආදරේට කීවේ බිංටු කියලා.

බිංටු පුතාගේ උපන් ගම වාහල්කඩ ප්‍රදේශයේ. ඒ උනාට එයා වයස අවුරුදු තුනේ ඉඳලා ජීවත් වුණේ අපේ ගමේ එයාගේ පුංචි අම්මගේ ගෙදර. පුංචි කාලේ ඉඳලම මෙයා පීනන්න වගේම කිමිදෙන්නත් අති දක්‍ෂයෙක්.

2004 දී බිංටු නාවික හමුදාවට බැඳුණේ ආහාර සැපයීම් අංශයට. ටික කාලයක් යන කොට මෙයාගේ විස්මිත පිහිනීමේ හා කිමිදීමේ හැකියාව දැකපු නාවික හමුදා උසස් නිලධාරීන් මෙයාව එස්.බී.එස් එහෙමත් නැත්නම් බෝට්ටු ආරක්‍ෂක විශේෂ බළකායට බඳව ගත්තා. ඊට පස්සේ විදෙස් පුහුණුවීම් එහෙම සාර්ථකව නිම කරලා මේ වෙනකොට එයා ප්‍රධාන සුළු නිලධාරී තනතුරේ තමයි හිටියේ. බිංටු පුතා විවාහ වුණෙත් අපේ ගමේම ඥාතියකුගේ දියණියක් සමග. ඒ දෙන්නට දරුවො දෙන්නෙක් ඉන්නවා. ගමේ මඟුලක්, මරණයක් , පිංකමක් , දන්සලක් කරන හැම වෙලාවකදිම බංටු හරිම කැපවීමෙන් වැඩ කළා. ගමේ කවුරුවත් එක්ක කවදාවත් අමනාප වෙලා නෑ. පුදුම නිවිච්ච ගති ගුණ තිබුණ හැමෝටම පිහිට වෙන උදාර හදවතක් තිබුණ බිංටු පුතාගේ මේ හදිසි අභාවය එයාගේ බිරිඳට දරුවන්ට , නෑයින්ට , ගමට විතරක් නෙවෙයි නාවික හමුදාවට වගේම රටටම නැවත පුරවන්න බැරි විශාල පාඩුවක්.