පොලිස් ප්‍රහාරයෙන් විරෝධතාකරුවෝ 7ක් මරුට
දැඩි ජනතා විරෝධය මැද ආන්දෝලනයට තුඩු දුන් මුදල් පනත කෙන්යාවේ පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කර ගැනීම හේතුවෙන් කෝපයට පත් ජනතාව නයිරෝබි අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා එරට පාර්ලිමේන්තු භූමියට කඩා වැදුණු දහස් සංඛ්‍යාත කෙන්යානු ජනතාව එම ගොඩනැඟිල්ලේ කොටසකට ගිනි තබා ඇතැයි ද, පාර්ලිමේන්තුව තුළට කඩා වැදී දැඩි අලාභ හානි සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පාන් ගෙඩියටත් 16% ක බද්දක් පැනවීම ඇතුළු ජනතාව දුෂ්කරතා රැසකට පත් කරන බදු සංශෝධන රැසක් ඇතුළත් මුදල් පනත සම්මත වීමෙන් කුපිත වූ කෙන්යානු ජනතාව පාලනය කිරීමට එරට පොලිසිය සහ හමුදාව ජීව උණ්ඩ යොදා ගනිමින් විවෘත වෙඩි තැබීමක් සිදු කර ඇති අතර, විරෝධතාකරුවන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය. තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
කෝපයට පත් ජනතාව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට කඩා වැදීමත් සමඟ එහි සිටි මැතිඇමතිවරු හිස් ලූ ලූ අත දිව ගිය බවත්, පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් මුළු පාර්ලිමේන්තුවම දුමෙන් නැහැ වී එකම යුද පිටියක් බවට පත්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පාර්ලිමේන්තුවට කඩා වැදුණු ජනතාව එහි මුළුතැන්ගෙයි තිබූ ආහාර පාන භූක්ති විඳින අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍යජාලයේ සංසරණය වෙමින් පවතී.