හොරට රැගෙනආ කෝටි 18 ක රත්තරන් ජෙල් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන්  සකස් කර ඒවා තම සිරුරු වල ගුද මාර්ගයේ සහ සිය  ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (25) අත් අඩංගුවට ගෙන තිබේ.

කල්මුණේ , මූතූර් , කොළඹ – 10 , කළගෙඩිහේන් සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් – 50 ත් අතර පසුවන , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන පුද්ගලයන් හය දෙනෙකි .

මෙම පිරිස ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම  පුද්ගලයන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර   (  Scan Test ) පරීක්ෂා කිරීම් වලට යොමු කිරීමෙන් පසුව අත් අඩංගුවට ගැනීම  සිදු කර තිබේ .

මොවුන් අතරින් පුද්ගලයන් සිව් දෙනෙකු මෙම රත්තරන් ජෙල් අඩංගු ගුලි සිය සිරුරු වල ගුද මාර්ග තුළ ත් , තවත් දෙදෙනෙකු තම ගමන් මලු තුළ ත් මෙම රත්තරන් ජෙල් කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 632 ක් බර රත්තරන් ජෙල් ගුලි 22 ක සගවා ගෙන තිබූ බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීවරයෙකු පැවසීය .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඉන්දික සිල්වා මහතා ඇතුළු රේගු නිලධාරීන් පිරිසක් විසින් සිදු කර තිබූ අතර පිරිස අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .