පාකිස්තානයේ අන්තවාදීන් විසින් පොලිස් ස්ථානයකට පහරදී ආගමට අපහාස කළේ යැයි සංචාරයෙකු මරා පුලුස්සයි !

පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක් තුළදී අල්කුරානයට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකු එම ප්‍රදේශයේ අන්තවාදීන් පිරිසක් විසින් ගිනි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය වන බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ ස්වාට් පළාතේ පිහිටි මධ්‍යන් නගරයේ පොලිස් ස්ථානයෙන් එම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ බව ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේය. ඝාතනයට ලක් වී ඇත්තේ සියල්කොට් නුවර පදිංචිකරුවකු වන බවත්, ඔහු සංචාරක ගමනාන්තයක් වන ස්වාට් පළාතේ සංචාරයක නිරතව සිටි බවත් වාර්තා වේ.

එම සංචාරකයා ආගමට අපහාස කිරීමේ පුවත පැතිරී යෑමත් සමඟ කුපිත වූ ප්‍රදේශයේ අන්තවාදී කණ්ඩායමක් පොලිස් ස්ථානය වටලා ඔහු භාර දෙන ලෙස ඉල්ලා ඇති අතර, පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එම පිරිස පොලිස් ස්ථානයට කඩා වැදී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ඉන් බියට පත්වූ පොලිස් නිලධාරින් පලා යෑමෙන් පසු පොලිස් ස්ථානයට සහ මෝටර් රථ කිහිපයකට ගිනි තබා ඇති අන්තවාදී පිරිස පසුව සංචාරකයා පිටතට රැගෙන ගොස් පුලුස්සා ඝාතනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.