වතු ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන ජනපති රනිල්ට අපේ සහාය – අමාත්‍ය ජීවන් තොණ්ඩමන්

වතු ජනතාව වෙනුවෙන් අප රජයෙන් ඉල්ලා ඇති කරුණු තුනක් සඳහා ජනාධිපතිවරයා එකඟතාව පළ කොට ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති නිසා මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලංකා කම්කරු කොංග්‍රසය විදිහට වතු ජනතාවගේ සහාය ලබාදීමට තීරණය කර ඇති බව ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේය.

අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ඉල්ලීමකට අනුව පුපුරැස්ස ලෙවලන් වතුයායේ නිවාස යෝජනා ක්‍රමයක් නිරීක්ෂණය කිරීමට පැමිණීමෙන් අනතුරුව අංකෙලිපිටිය ජල යෝජනාව සංවර්ධනය කිරීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නිවාස පනහකින් සමන්විත මෙම වතු නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් මෙයට වසර පහකට පෙර නැවතී ඇති අතර එය නිරීක්ෂණය කිරීමට හා මෙයට වසර අටකට පෙර නාය යෑමේ අවදානමකින් අවතැන්ව ඇති තවත් පවුල් තිහකට නිවාස ඉදිකර දීම වෙනුවෙන් සොයා බැලීමට මෙම අමාත්‍යවරුන් පැමිණ තිබිණි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

වතු ජනතාවගෙ වැටුප් වැඩි කිරීමටත් ඔවුන්ට නිවාස ලබාදීම හා බිම් කඩක අයිතිය ලබාදෙන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ජනාධිපතිතුමා දැනටමත් වතු ජනතාවගේ දෛනික පඩිය ඉහළ දැමීමටත් නිවාස ඉදිකර දීමටත් කටයුතු ආරම්භ කර තිබෙනවා. එසේම ඉඩම් ඔප්පු ලබාදීමටත් ⁣⁣පොරොන්දු දී තිබෙනවා.

ඒ අනුව වතු ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කම් දෙන මෙම ජනාධිපතිවරයාට අපේ සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. මෙහිදී අධිකරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා ද අදහස් දැක්වීය.

ගම්පොළ – සුරංග දිල්හාන්