හිටපු ජනපති සිරිසේනගේ කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගතයි – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ අනුව, ඒ පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

වෛද්‍ය ප්‍රතිකාර, විශේෂඥ ප්‍රතිකාර ලබාගැනීම සඳහා, පෞද්ගලික ආරෝග්‍ය ශාලාවල වියදම්, අනාථ වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම ආදි ලෙසට ප්‍රහාරයට ලක්වූ ජනතාවට උදව් අවශ්‍ය වී තිබුණු බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

රුපියල් මිලියන 500 ක් පමණ මුදල් එකතු කරගත් බවත්, අදාළ නිවැරදි දත්ත තමා සතුව ඇති අතර, ඒවා ඕනෑම වේලාවක පරීක්ෂා කිරීමට හැකි බවත්, එම රුපියල් මිලියන 500න් මිලියන 460ක් පමණ මේ වෙනකොට බෙදා දී ඇති බවයි අගරදගුරුතුමන් සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැවසූ කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගත හා වැරදි එකක් බවද, එවන් දෙයක් ප්‍රකාශ කිරීමට පෙර සැබෑවට‍ම සිදුවූයේ කුමක් දැයි අදාළ පාර්ශවයන්ගෙන් විමසා බැලීම එතුමාගේ යුතුකමක්ව පැවති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.