කෙහෙළිය ගෙවල් කුලියත් ගෙවා නෑ

මධ්‍යම පළාත් සභාව සතු නිවෙසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවෙස සදහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඬියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සදහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි.

අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙස ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඒ මහතාට තාවකාලිකව රැඳී සිටීම සඳහා කුලී පදනම මත මහනුවර මලබාර් වීදියේ පිහිටි මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවෙස ලබාදී තිබේ.එසේ ලබා දී ඇත්තේ ඔහුගේ මාසික වැටුපෙන් 10% ක මුදලක් අය කර ගැනීමේ ගිවිසුමක් මත බව පවසන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සහ පරිසර අමාත්‍ය ධුරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාළ මුදල් මධ්‍යම පළාත් සභාවට අයවී ඇතත් මේ වන විට එම මුදල් ලැබීම නතර වී ඇති බව ප්‍රධාන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.

හිටපු අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගත වීමෙන් පසු මාස හතරක කාලයක් එම මුදල් අයවීම නතර වී ඇති බැවින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල් අයකර දෙන ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතත් ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇත්තේ මාදිවල මන්ත්‍රී නිවාසවල මුදල් අය කර ගැනීමේ බලය ඇතත් පිටස්තර නිවාසවල මුදල් අය කර ගැනීමේ බලයක් ලේකම්වරයාට නොමැති බවත්ය.

එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ එම මුදල් අයකර ගැනීමට මන්ත්‍රීවරයාගේ කැමැත්ත පළ කර ලිපියක් ලබා දෙන්නේ නම් එම මුදල් අය කර දීමේ බලය පාර්ලිමේන්තු ලේකම්වරයාට ඇති බවයි. දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයාගෙන් ඔහුගේ වැටුපෙන් 10% ක මුදලක් කපා ගැනීම සඳහා කැමැත්ත ඉල්ලා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ලිපියක් යොමු කර ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව ද ප්‍රධාන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවැසීය.
 ෂේන් සෙනෙවිරත්න