රනිල්ට මාලිමාවෙන් මූලික අයිතිවාසිකම් නඩු

ජාතික ජන බලවේගයේ නීතිඥවරුන්ගේ සංගමය පවසා සිටියේ, කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුවේ සඳහන් නොවෙන කාරණාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්‍රකාශ කර ඇති බවත් එම කතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනා බවත්ය.
ජනාධිපතිවරයා විසින් සිදුකළ යැයි පැවසෙන ප්‍රකාශය වූයේ
“අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබෙන තීන්දුව නිසා මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබා ගන්න බැහැ” යන්නයි.

 ප්‍රකාශය අනුව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවැරීමට සූදානම් බව එම සංවිධානය පවසයි.
එම සංවිධානයේ නීතිඥ සුනිල් වටගල කියාසිටියේ, විධායකයට අවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තුව තුළ සිදු කරන ප්‍රකාශ ඉන් පිටතදී සිදුකළ නොහැකි බවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතට පටහැනි බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වටගල මහතා,

“රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්ද කඩන්න හැදුවා.

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ තීන්දුව ලබාදුන් ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයා ම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට අතුරු නියෝගයක් ලබා දුන්නා.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එම අතුරු නියෝගය ලබා දුන් විනිසුරුවරු තිදෙනා ම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් හමුවට ගෙන ආ යුතු බවට තමන්ගේ ගෝලයෙකු ලෙස සිටින ප්‍රේමනාත් සී. ‍දොලවත්ත යොදවා ප්‍රකාශයක් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව ප්‍රකාශ කරමින් ජනතාව ඉදිරියේ අධිකරණයට තිබෙන විශ්වාසය බිඳ දැමීමට ඔහු උත්සාහ කරමින් සිටිනවා.”