යළි ඉදිකෙරුණු මිහිඳු මහාසෑය මිහින්තලා නාහිමිට භාර දෙයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන මිහිඳු මහසෑය යළි ඉදිකර නිල වශයෙන් භාර දීම ඊයේ සිදුවිය.

මුළුමනින්ම ගරාවැටී නටබුන්ව තිබූ මිහින්තලාවේ මිහිඳු මහසෑය මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදි මහමෙව්නා අසපු සංකීර්ණයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් රු. මිලියන 230 ක පමණ මුදලක් වැය කර මුළුමනින්ම නැවත සාදා මිහින්තලා නාහිමි වෙත භාරදීමේ පුණ්‍ය උත්සවය, ඊයේ (21) පොසොන් පොහෝ දින අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ මහා සංඝරත්නය ඇතුළු දසදහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

ඉහළ ධාතුගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම, බඳ ගර්භයේ රත්රන් කිලෝ හතක් යොදා සාදන ලද කරඬුන් වහන්සේ තැන්පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.